අන්න අදත් අර පොඩි ළමයි ටික වෙරළට ඇවිත්.. මගේ දිහා බලලා පුරුදු විදිහට පුංචි කොලු පැටියෙක් හිනා වුණා. මමත් වෑයමින් පුංචි හිනාවක් දෙතොලට අලව ගත්තා.. ඒ ළමයින්ට වෙනසක් නැ. ඔහේ සෙල්ලම් කරනවා.
"ඇත්තටම අද වෙනසක් තියෙනවද?" මම මගේ හිතෙන් ම අහගත්තා..
වෙරළ වෙනදා වගේමයි.. හෙමින් සැරේ හොරෙන් ඇවිත් කකුල් තෙමලා ඈතට ඇදිලා යනවා.. බහින ඉර.. එකෙත් වෙනසක් නැ.. රන් පාට ඉර එළිය.. වෙනදාටත් වඩා සනීපයි වගේ... වෙනදා වගේම පාට පාට සමනල්ලු වගේ සරුංගල් අහස අරක් කරගෙන.. සුළගත් වෙනදා වගේ ඇඟේ ගෑවි නොගෑවි යනවා.. වෙලාවකට කොන්ඩෙත් අරන් යන්න හදනවා..
මම ඈත මුහුද දිහා බලන් හිටියා. ඈත පුංචි තිතක් වගේ එකක් පේනවා. බෝට්ටුවක් වෙන්නැති. හැමදාම උදේට වෙරළේ නවත්තලා තියෙන නිල් පාට බෝට්ටුවද දන්නේ නැ. ඒත් ඉතින් මොක වුණාම මට මොකෝ.මටත් හිතන්න දේවල් නැ වගේ. ඒත් ඉතින් හිතනවා කියලා මොනාවා ගැන හිතන්නද? මට තේරෙන්නේ නැ.
මම ආයෙත් නිල් පාට අහස දිහා බැලුවා. පාට පාට සරුංගල් මග ඇරලා මගේ ඇස් සුදු පාට වළාකුලු හඹාගියා.සුදු පාට අද හරිම සුදුමැළි වෙලා වගේ. මම මටම කියාගත්තා. අනේ මන්දා.. හැමදේම වෙනදා වගේමයි..ඒත් ඇයි මට වෙනසක් දැනෙන්නේ?
මොකක්දෝ මහා මූසළකමක් දැනෙනවා. වැස්සක්වත් වැටෙන්නද මන්දා.. නෑ වැස්සක් නෙවියි. අද දවස වෙනස් තමා..අද ඔයයි මමයි එක ළඟ ඉඳගෙන හිටියට ගොඩාක් දුරස් වෙලා. ගව් ගාණක් දුර ගිහින් වගේ. වෙනදා නොනවත්වා දොඬමළු වෙන ඔයා අද ගොළු වෙලා. හැමවෙලේම හිනා වෙන ඔයාගේ ඇස් මළානික වෙලා රතු වෙලා. අඬලද මන්දා.ඒත් ඔයා හැඟීම් පිටට පෙන්නන කෙනෙක් නෙවියිනේ. ඔහේ හිස් බැල්මෙන් බලාගෙන ඉන්නවා.
ඔය ඇස් දෙකට එබිලා අහන්න දේවල් ගොඩාක් මගේ හිතේ තෙරෙපෙනවා. එත් ඔය ඇස් දිහා බලාගෙන මුකුත් අහන්න බැ. ඔයා නොකිව්ව දාහක් දේවල් ඇස් වල ලියවිලා. ජීවිතේ හැමදාම මාත් එක්ක සෙල්ලම් කළා. අදත් එහෙම දවසක්.
අපි කතා නොකර කොච්චර වෙලා හිටියද මන්දා. දැන් හොඳටම හවස් වෙලා. ඉර මුදුදේ ගිලෙන්න ඔන්න මෙන්න වගේ. සරුංගලුත් එක එක බිමට පාත් වෙනවා.
"අපි අපිට අයිති නැ" ඒ කටහඬ කාගේද?. ගොඩාක් වෙලා නිහඬව හිටපු ඔයා එකපාරටම සිහිනෙන් අවදි වුණා වගේ කියනවා.
"හ්ම්ම්ම්..." කියන්න වෙනදෙයක් හිතගන්න බැරි නිසා මම හූමිටි තියනවා.
අද අපි මුණගැහෙන අන්තිම දවස. මට මොනාද කරන්නේ කියලා හිතාගන්නත් බැ.
"අඬන්නද?" මම මගේ හිතෙන් ඇහුව්වා.
"අඬල වැඩක් තියෙනවද?" හිත ආයේ මගේන් අහනවා.
"අනේ මන්දා"
"එයා හම්බුවෙන අන්තිම දවසේ අඬන්න එපා. අන්තිම මතකය කඳුළෙන් ලියන්නේ මොකටද..හැමදාම වගේ ලස්සන හිනාවෙන්ම ලියන්න" හිත කියනවා.
"ඒ කතාවත් ඇත්ත. ආයේ ඉතින් දවසක හමුවෙන්නෙ නැත්නම් අඬලා වෙන්වෙන එක හරි නැනේ. මොනා වුනත් එයා මගේ හිනාවට ආදරේයි. එයා මුලින්ම මට කැමති වුණේත් ඒ හිනාවටනේ. හිනා වෙනකොට මගේ ඇස් දිළිසෙනවලු.. අනේ මන්දා.එයා තමයි කියන්නේ..". මම මගේ හිතත් එක්ක දොඬමළු වුණා.
ටික ටික රෑ වෙනවා.
"දැන් හොඳටම හවස් වෙලා. ගෙදර යන්න" ඔයා කියනවා.
හිත එක්ක කතා කර ඉන්නකොට නොදැනීම මම ඔළුව ඔයාගෙ උරිස්සට තියාගෙන.
"අනේ මට මෙහෙම ඉන්න දෙන්න.." මම හිතින් ඇඬුවා. ඒත් හිත කිව්වා වගේ අඬලා ඔයාගෙන් වෙන්වෙන එක හරි නැ. ආයාසයෙන් හිනාවක් මවාගෙන "ඔයා යන්නේ නැද්ද?" මම අහනවා.
අන්තිම දවසෙත් එයා යන නොයන එක හොයනවා. අනේ මන්දා ගෑණු ගතියනේ. ආදරේ කරන මනුස්සයා ගැන හොයන එක ඉතින් ආසම දේ නේ. "මමත් යනවා." ඔයා ආයේ අහක බලාගෙන.
මම උරිස්සට හේතු වෙලාම ඉන්නවා. අයේ ඉතින් මෙහෙම දවසක් එන්නේම නැනේ.
"මේ ලොකේ විනාශ වෙලා අයේ මැවෙනවා නම්.. එතකොටවත් අපි අපේම වෙලා ඉපදේවි.." ඔයාටත් හිතෙන දේවල්.. මාව දාලා යන්න බැරිකමටද කොහෙද ඔහේ කියවනවා.
මම හිතින් පෙර දවස ගැන හිතුවා. දවසක් වෙරළේ අත් දෙක අල්ලගෙන අපි දෙන්නා ඇවිදන් ගියා. "අර" ඔයා බිමට අත දික් කරලා කිරි කවඩියක් පෙන්නුවා. ඒක කිරිම කිරි පාටයි. හදවතක හැඩයේ. ලා රෝස පාටින් අමුතු වයිරමක් වැටිලා. හරියට සුරංගනාවියෙක්ගේ හදවතක් වගේ.
"ඒක වාසනාවන්ත කවඩියක්" ඔයා අතට අහුලලා ගන්න ගමන් කිව්වා.
"වාසනාවන්ත කවඩියක්?" මගේ මූණේ ප්‍රශ්නාර්ථයක්.
"ඔව්. හදවත් හැඩේ කවඩි හොයාගන්න නැනේ වැඩිය. ඒක වාසනාව ගේනවා." ඔයාගේ ලේන්සුවෙන් ඒක හොඳට පිහිදන ගමන් ඔයා කිව්වා.
"ඉතින් ඒකේන් මොනාද ලැබෙන්නෙ?" මම ආසවෙන් ඒ කවඩිය දිහා බලගෙන ඇහුව්වා.
"ආදරේ"
මගේ ඇස් ඇතුළට එබිලා වගේ ඔය කිව්වා.
"හෙහ් හෙහ් හෙහ්.. ආදරේ? හ්ම්ම්ම්ම්..." මම හිනා වුණා. ඔයාගෙත් මූණේ ලස්සන හිනාවක්.
"ආහ්..මේක පර්ස් එකේ දාලා තියාගන්න.." ඔයා කවඩිය මගෙ අතට දුන්නා. "එතකොට ඔයාට?" ආයේ ප්‍රශ්නයක්.
"මට ඔයාගේ ආදරේ තියෙනවනෙ.. ඔයා කවඩියේ ආදරේ තියගන්න.. " අනේ හිනාවෙලා එහෙම කියනකොට ඔයාගේ ඇස් වල තියෙන කාන්තියට මම වශී වෙලා වගේ බලන් හිටියා.
ඒත් දැන් ඒ කවඩිය මගේ ලඟ නැ. කවඩිය පර්ස් එකත් එක්කම හොරු අරන්. දැන් ඔයාවත් හොරු අරන් යනවා. මගේ ළඟ කාගෙවත් ආදරයක් නැ. ඇස් දෙකට කඳුළු උනනවා. ඉක්ක්මනට මම අහස දිහා බැලුවා. එතකොට කඳුළු බිමට වැටෙන්නෙ නැනේ..
"ඇයි මැණිකේ?"
"නැ මුකුත් නැ" ආයාසයෙන් හිනාව මවාගත්තා. "එහෙනම් දැන් යන්න මගේ මැණිකේ. තව රෑ වුනොත් ගෙදරින් බය වෙයි."
"හ්ම්ම්ම්..." මම ඔයාගෙ අතට වාරු වෙලා හෙමිහිට නැගිට්ටා.
අපි දෙන්නා යන්නේ දෙපැත්තකට බව නොදන්නවා නෙමෙයි. ඒත් "යමු ද" කියලා අහන්නම හිතෙනවා. නැ එක්කෝ ඕනේ නැ. මම හිනාවෙලා "යන්නම්" කියලා ඔයාට පිටිපස්ස හරවලා ඇවිදන් යන්න ගත්තා. මම දන්නවා ඔයා මං දිහා බලන් ඉන්නේ. මම දන්නවා. ඒත් මට හැරිලා බලන්න බැ. කම්මුල් දිගේ පහළට බහින කඳුළු ඔයා දකීවි. පාර අයිනේ කඩල විකුණන කරත්තේ පොකට් රේඩියොවෙන් වාදනය වෙන ගීතයක් ඒ අන්තිම මොහොතට පසුබිම් සංගීතය සපයනවදෝ කොහෙද..
"අසුරු සැණින් එක මොහොතකදී
කාලය නැවතී ඇරඹී
විශ්වය අළුතින් බිහි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා.."
අපි අපිට අයිති නැ
ReplyDeleteමට වෙන කියන්න දෙයක් නැ :(
අනූ :(
hmmm..... ane manda Anu..
ReplyDeletemaybe that is love..and life..