Showing posts with label සින්දුවක කතාවක්. Show all posts
Showing posts with label සින්දුවක කතාවක්. Show all posts

Monday, July 30, 2012

වසා ගන් දොර මගේ හිමියෙනි...



අහස ගුගුරා.. අකුණු පුපුරා..
මගේ හිත වැන්දඹු වුනා...
වසා ගන් දොර මගේ හිමියනි
නුඹට රිසි නම් යන්නට යන්නෙමි....


"හරිම ලස්සන සින්දුවක් නේ?"
නිමාලි රේඩියෝවේ සද්දේ තව ටිකක් වැඩි කරන ගමන් ඇහුව්වා..
"ඇත්ත අනේ.. මමත් ඕක ටීවි එකේ ටෙලිඩ්‍රාමා එකක යනවා ඇහුව්වා.."
"නන්දා මාලිනිගේ කටහඬට ඒක හොඳට මැච්වෙනවා නේ.."


ස්ටාෆ් රූම් එකේ අනිත් කට්ටිය නිමාලි කියපු දේට එකඟ වුනේ එයලාගේ අදහසුත් කියන ගමන්..


"මොකෝ සංගීත හා සින්දු පිළිබඳ මහාචාර්යවරියගෙන් කිසිම අදහසක් නැත්තේ?? ඇයි සින්දුව හොඳ නැද්ද??" පාලිත එහෙම ඇහුව්වේ මම කිසිම දෙයක් නොකියා ඔහේ බලාගෙන හිටපු නිසා වෙන්නැති.. වෙනදාට සින්දු ගැන කතාවක් නම් මුලින්ම කියවන්න පටන් ගන්නේ මම කියලා එයලා හැමෝම දන්නවා..


"'ඒක තමා මමත් මේ බැලුවේ.. මොකෝ මනීශා සින්දුව අල්ලන්නේ නැද්ද??" නිමාලිත් මගේ දිහා බලාගෙන ඇහුව්වා.
"නැ අනේ මම ඔය සින්දුව කලින් අහලා නෑ.. ඒකයි.. මම මේ ටිකක් වෙලා අහගෙන හිටියා.. මුකුත් කියන්න කලින් සින්දුව අහලා ඉන්න එපැයි.." මම කට්ටියගේ ඇස් මඟ අරින ගමන් කිව්වා.


"ඇහ්..ඒක පුදුමෙනුත් පුදුමයි නේ.. ඔයා අහලා නැති සින්දුත් තියෙනවද.."පාලිත හිනා වෙනවා..


හීන් හිනාවක් මූනට අලවගෙන මම බෑග් එකත් අරන් නැගිට්ටා.. "සමහර ඒවා ඉතින් අහලා නෑ.. මන් යනවා ලයිබ්‍රරි එකට.. ගත්ත පොතක් තියෙනවා රිටන් කරන්න.. නැත්නම් කුසුමා මිස් ආයේ කම්ප්ලේන් කරයි ටීචර්ලා පොත් අරන් භාර දෙන්නේ නැ කියලා.."
එහෙම කියාගෙනම ස්ටාෆ් රූම් එකෙන් එළියට ආවට ඇත්තටම භාර දෙන්න පොතක් මගේ අතේ තිබුනේ නැ.. ඒත් කෝකටත් එක්ක මම ලයිබ්‍රරි එකටම යනවා.. අයිනකට වෙලා පොතක් වත් බැලුවොත් ඊළඟ පීරියඩ් එකට කලින් කලබල වෙලා තියෙන මගේ හිත සන්සුන් කරග්න්න පුළුවන් වෙයි කියලා මම හිතුවා.


"තමුසේට මේ ගෙදර ඉන්න බැරි නම් බැහැලා යනවා යන්න.. මට පව් නොදී.." 
කුශාන්ගේ කටහඬ තාමත් මගේ කන් ඇතුලේ දොංකාරය දෙනවා. හරියට ඒක ඊයේ වුනු දෙයක් වගේ. මට කුශාන්ව හම්බුවුනේ කැම්පස් එකේදී. ඒත් අපි දෙන්න ගොඩාක් කල් ආශ්‍රය කලේ යාලුවෝ වගේ.අවුරුදු තුනක්ම යාලුවෝ වගේ ඉඳලත් ඕකාව හරියට අඳුරගන්න බැරි වුනාද කියලා සඳු අහන කොට නම් මම මගේ මුලු ජීවිතේම රැවටිලා ඉඳලා නේද කියලා හිතුනා..ඒත් මේක එයාගේ වැරද්දක් විතරක්ම නෙවියිනේ.මමත් මේකට වගකියන්න ඕනේ.හැමදාම වගේ අදත් මගේ හිත එයාව සුද්ද කරනවා. මන් හැමදාමත් කලේ ඒක.එයාගේ වැරදි දාහක් පෙනෙද්දිත් එයාව සුද්ද කර කර ලඟට වෙලා හිටියා.ඒත් එයාට මගේ එක වැරැද්දක් ඉවසන්න බැරි වුනා. 


කැම්පස් එකෙන් අවුට් වෙන දවසේ මාර ගහ යටදී "මට ඔයා නැතුව ඉන්න බෑ මනීශා..මන් ඔයාට ආදරේ කරනවා" කියාලා මාව බදාගෙන සිපගනිද්දී මම කවදාවත් හිතුවේ නෑ ඔයට මන් නැතුව ඉන්න පුළුවන් වෙයි කියලා.ඒත් අනේ මන්දා.දෛවය කියන්නේ අපිට හිතන දේම නෙවෙයිනේ. එහෙම ඉන්න බැ කියපු ඔයා දැන අවුරුදු දෙකක් තිස්සේ මගේ මූනවත් බලන්නේ නැතුව ඉන්නවා.


මන් දන්නවා ඔයාගේ අම්මලා විතරක් නෙවෙයි අපේ අම්මලාත් පුංචි පැටියෙක් අපේ පවුලට එනකන් ඇඟිලි ගැන ගැන හිටියා..එයලා විතරක් නෙවෙයි දෙයියනේ මමත් කවදාහරි අම්මා කෙනෙක් වෙන්න බලාගෙන හිටියා.ඔයාගේ ලෙයින් හැදිච්ච පුංචි පැටියෙක්ව මගේ උකුලේ තියාගෙන නළවන්න මමත් ආසාවෙන් හිටියා.


ඒත් ඒ හැමදෙයක්ම අපි හිතුවේ වත් නැති විදිහට අපිට නැති වුනා. හොඳට හිටපු අපි දෙන්නා රංඩු කරන්න පටන් ගත්තා.ඒ හැමවෙලාකම මම වැරදිකාරි වුනා.ඔයා ඔෆිස් එකේ ගෑනියෙක් එක්ක එහෙ මෙහෙ යනවා කියලා දැන දැනත් මම කට පියාගෙන හිටියා.


ඒත් මම එහෙම හැමදේම ඉවසගෙන හිතේ හිර කරගෙන හිටිය පීඩනය මන් හිතුවේ වත් නැති පැත්තකින් එළියට ආවා. සත්තයි කුශාන් මම ඔයාව රවට්ටන්න හිතුවේ නෑ කවදාවත්ම.ඒත් ඔයාගෙන් නොලැබෙන ආදරේ සහන්ගෙන් ලැබෙන කොට මන් එයාට ලන් වුනා. ඔයාගේ උණුසුම් හැර වෙන උණුසුමක් ගැන හීනෙකින්වත් හිතුවේ නැති මම, මටත් හොරා සහන්ගේ උණුසුමට තුරුල් වුනා. ඒත් ඒ එකම එක දවසකට විතරයි.එදයින් පස්සේ මම මොන තරම් වැරදිකාරියෙක්ද කියලා මගේ හිත මට දොස් කිව්වා.


මම හිතුවේ ආයේ ඔයා එක්ක ජීවිතේ අලුතින් පටන් ගන්න පුළුවන් වෙයි කියලා. ඒත් මන් නොහිතපු විදිහට මෙච්චර කල් වඳ ගෑනි කියලා හංවඩු ගහපු මම වඳ නෑ කියලා දැන ගත්තා. 


මම ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තාම ඔයා මන් දිහා සැකෙන් වගේ බැලුවේ ඔයා දැනගෙන හිටියා නේද වැරද්ද මගේ නෙවෙයි ඔයාගේ කියලා? ඒත් ඔයාගේ නෑදෑයෝ මට වඳයි කියලා බනිනකොට මන් වෙනුවෙන් එක වචනයක් වත් කතාකරන්න ඔයාට බැරි වුනා කුශාන්.


ඕකාගේ තාත්තා කවුද කියලා කෑගහලා අහනකොට මට අහන් ඕනේ වුනේ "ඇයි ඔයා වෙන්න බැරිද" කියලා.. 


ඒත් ඒකත් හිතේ හිර කරගෙන මම ඔයාගේ පස්සෙන් ගෑටුවේ මගේ කුසට නොදන්වා ආපු ඒ පුංචි ආත්මය තලලා පොඩි කරලා දාන්න. 


ඔයාට ඕනේ විදිහට ඒකත් කලාට පස්සේ මන් වනචර ගෑනියෙක් කියලා බැන්නට අමතක වුනාද ඔයාට, ඔයා ඔෆිස් එකේ නිරාශා එක්ක බිස්නස් ට්‍රිප් ගිය හැටි? ඒවා මම දැන ගත්තාම මගේ ඉස්සරහා දණින් වැටිලා ආයේ එහෙම වෙන්නෙ නෑ මගේ මැණික කියලා අඬපු හැටි? ඒත් ආයෙත් ඒ වැරැද්දම කරපු හැටි? 


යි යාට වා මතක නැති වුනේ? 


කොහොම වුනත් මම ගෙදරින් එළියට බැස්සේ ඔයාට ආදරේ නැතුව නෙවෙයි.ඒත් අපි දෙන්නා තව දුරටත් එක වහළක් යට ඉන්න එක තේරුමක් නැති නිසා.


මන් ආයේ එහෙම කරන්නේ නෑ කියලා ඔයාගේ දෙපතුල් අල්ලලා වඳිනකොට කකුලෙන් ගැහුව්වේ මොන හිතකින්ද කුශාන්? ඔයා ඔයාගේ ලෝකේ තනිවෙලා. මන් කරපු වැරැද්ද ඔයා නිදහසට කාරණාවක් කරගත්තා. පිරිමි ලන්වෙන්න ආවත් මට ආයේ ආදරේ කරන්න බෑ කුශාන්.. සහන්ට ලන් වුනාට මන් එයාට ආදරේ කරල නෑ කියලා මම දැනගත්තා..ඒත් ඔයා?? ඔයා මට ඇරෙන්න වෙන හැම ගෑනියෙක්ටම ආදරේ කරලා..ඒ නිසානේ මම මෙහෙම දුක් විඳිනකොටත් ඔයාට ගාණක් වත් නැත්තේ.. 



අවුරුදු දෙකක් හිත අතීතයට ගියා. මගේ ජීවිතේ වැරදිලා ඉවරයි..ඒත් මට තරහක් නැ කුශාන්.. ඔයා සතුටින් නම් ඒ මට හොඳටම ඇති.. කඩා වැටිච්ච හිත හදාගෙන මම ඉඳගෙන හිටිය තැනින් නැගිට්ටේ පන්තියට යන්න බලාගෙන..


ආලයක් නැති.. තාලයක් නැති
විජිතයේ කටු ඔටුනු හැරයමි..
කාලයක් අපි ආදරෙන් සිටි
සොඳුරු මතකය අරන් යන්නෙමි..


වසා ගන් දොර මගේ හිමියෙනි
නුඹට රිසි නම් යන්නට යන්නෙමි..


බැන්ද රන් දම්..මගේ ගෙළ වට
මුදා විසිකොට..අඬන අහසට
මගේ සිහිනයේ නුඹ නිදන් කොට
කුරුටු ගී දහසක් ලියන්නෙමි


වසා ගන් දොර..මගේ හිමියෙනි
නුඹ රිසි නම් යන්නට යන්නෙමි...

Post Comment

Tuesday, November 8, 2011

මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා..



මම එදාත් සුපුරුදු විදිහට ලෙක්චර්ස් ඉවරවෙලා බම්බලපිටිය පැත්තට ඇවිදගෙන ගියා. ඉන්දියානු කෑම කඩේ පහු කරගෙන යනකොට එබේටම ඒ පැත්ත බැලුනේ ඔයා ඉඳියි කියලා හිතාගෙන නෙවෙයි. ඒත් ඉස්සර අපි දෙන්නා කාටවත් නොපෙනී පැය ගාණක් කතා කරන්න ඕනේ වුනාම එන තැන නිසා පුරුද්දට වගේ බැලුණා. ඒත් හිතපු නැති විදිහට ඔයා මගේ ඉස්සරහා හිටගෙන. ඔයාත් මාව දැක්කා කියලා මම දැක්කා. හිනා වෙන්නද නැත්නම් අහක බලාගෙන යන්නද කියලා මට තේරුනේ නැ. මම එතන එහෙම්ම ම ගල් වුණා වගේ බලන් හිටියා. ඒත් ඔයාට එහා පැත්තෙන් තවත් කෙනෙක් ඉන්නවා කියල දැක්කාම මම නතර නොවුණා නම් කියලා හිතුනා.


ලා කහ පාට ඉරි වැටුණු අත් දිග කමිසේ වැලමිට ගාවට නමලා.. කලිසමට උඩින් දාලා.. මතකද ඔය කමිසේ ගන්න ගිය වෙලේ හරියන එකක් වත් හොයාගන්න බැරි වුනාම අපි වෙන කඩේකට යන්න හදද්දිම තමා මගේ අත වැදිලා රැක් එකක තිබුනු කමිස ඔක්කෝම ටික පෙරළුනේ.. ඒ කමිස එකින් එක අහුලන කොට තමා ඔය කමිසේ ඔයා අතට අරන් මේක හොඳයි නේ කියලා මගේ ඇහුව්වේ.. අපෝ.. එදා නම් මම කමිසේ හොඳ ද නරකද කියන්න නෙවේයි ඒක කමිසයක්ද නැද්ද කියලා වත් කියන්න බැරි තරමට බය වෙලා හිටියේ.. වට්ටපු කමිස ඔක්කෝම අපිට ගන්න වෙයි කියලා.. කොහොම වුනත් එදා ඔයා කමිසෙත් අරන් එළියට අවේ සඳු හැමදේම වෙන්නේ හොඳට නේ කියාගෙන.. හැමදේම වෙන්නේ හොඳට නම් අද ඔයා මාත් එක්ක නැතුව වෙන කෙනෙක් එක්ක ඉන්නේත් හොඳටද විදූශ?


ඔයා මාව දැක්ක නොදැක්ක ගාණට කාර් එකට නැග්ගා. ආහ්.. ඔයා දැන් කාර් එකකුත් අරන්නේ.. නැත්නම් ඕකත් දෑවැද්දට හම්බු වෙච්ච එකක්ද? අනේ කමක් නැ.. ඔයා සතුටින් වෙන්නැති නේ.. 
____________________________________________________
බීප්..බීප්... බීප්..බීප්..
one message received. 
Vidhusha



මේ මොකද මේ වෙන්න යන්නේ? විදූශගෙන් මැසෙජ් එකක්.. මට පුදුමත් හිතුනා ඒක දැක්කාම. අද මූණටම හම්බු වෙලත් මාව දැක්කේ නැ වගේ කාර් එකට නැගලා ගිය මනුස්සයාගෙන් මැසෙජ් එකක්? කියන්න දෙයක් තිබුනා නම් කටින් කියන්න තිබුනානේ... 


"සඳු.. ඔයාට කොහොමද? ඔයා මාත් එක්ක තරහින්ද? අද මම ඔයාව දැක්කා. ඒත් ඒ වෙලේ කතා කරන්න ගියා නම් නතාශාටත් ඔයාව introduce කරන්න වෙනවා. එහෙම වුනා නම් එයට ඕනෙනේ වෙනවා ඔයාවත් අපි එක්ක කාර් එකේ දාගෙන යන්න. ඒ එයාගෙ හැටි. මගේ යාලුවෝ එයාගෙත් යාලුවෝ  කියල තමා එයා කියන්නේ. එහෙම වුනානම් ඔයාටත් අමාරුයි නේ.. ඒකයි මම කතා නොකර ගියේ.. මාත් එක්ක තරහ වෙන්න එපා සඳු.. මම අසරණයි. take care. බුදු සරණයි.."




ඔයාගේ යාළුවෝ? මට එහෙම අහලා මැසේජ් එකක් යවන්න හිතුනත් බැඳපු ඔයාගේ ජීවිතේට දැන් මම පරණ යාළුවෙක් විතරයි කියන එක මට පිළිගන්න වෙනවා. කමක් නැ විදූශ මම තරහා නැ. ඔයා මාත් එක්ක කතා නොකර ගියපු එකටවත්, මාව දාලා ගිය එකටවත්, මට දීපු පොරොන්දු කවදාවත් ඉටු නොකරපු එකටවත් මම තරහා නැ. ඒත් ඔයා අසරණ වෙලා නැ විදූශ.. ඔයා නෙමෙයි මමයි අසරණ. ඔයාව අමතක කරන්න බැරුව දුක් විඳින මමයි අසරණ.


මම ගමකින් ආපු කෙල්ලෙක්. මගේ අම්මලා තාත්තලා ගමේ මිනිස්සු. ඒත් ඔයා ඒවා දැන ගත්තේ අද ඊයේ නෙමෙයි විදූශ. මම කැම්පස් ආපු මුල් දවස් වල සීනියස්ලට බයෙන් හිටපු මාව තනියම අරන් ඔයා මාත් එක්ක ගොඩාක් කතා කලා. බය වෙන්න එපා නංගියෝ.. ඕනේ උදව්වක් කරලා දෙන්නම්.. මොකද ඔයා බය වෙලා වගේ ඉන්නේ? ඔන්න ඔහොම ලං වෙච්ච ඔයා අන්තිමට මගේ පෙම්වතා වුනා. පළවෙනි වසරේදි  තුන්වෙනි වසරේ අයියා කෙනෙක් එක්ක ගොඩ ගිය එක ගැන මට පුංචි ආඩම්බරයක් නොදැනුනාම නොවෙයි.


ඒත් මොනා කරන්නද.. ඔයාගේ අම්මලට ඕනේ වුනේ හොඳ සල්ලි තියෙන ලේලියක්.. ඒ ගොල්ලෝ වැදගත් කියලා කිව්වේ දුක් මහන්සියෙන් හේන් කොටලා සල්ලි හොයාගෙන මාව කැම්පස් එවපු ගමේ ඉන්න මගේ අම්මලා තාත්තලා නෙවෙයි. කාර් වලින් යන එන.. ඒ සී කාමර වල ඉන්න ටයි දාපු අය. විදූශ මම ඔයාලගේ අම්මලා ගැන දැන ගත්තේ මේ ලඟදී.. ඒත් ඔයා එයාලව දැන ගෙන හිටියා නේද? මට ආදරෙයි කියලා කියන්න කලින් ඔයාට මතක් වුනේම නැද්ද ඔයාලගේ අම්මලා මට කවදාවත්ම කැමති වෙන එකක් නැ කියලා? "නඟා මම ඔයාට ආදරෙයි. මගේ ජීවිතේ දැන් ඔයා විතරමයි.." කියලා කියද්දි අම්මලා ගැන මතක් වුනේම නැද්ද? ඔයා නෙමෙයි විදූශ දැන් අසරණ මම. 


"ආහ් සඳු ඇත්තද විදූශ බැන්ඳා කියන්නේ?" කැම්පස් එකේ ළමයි මගෙන් අහන කොට මම මොනවද කියන්න ඕනේ කියලවත් ඔයා මට කියලා දුන්නේ නැ එදා. 


"සඳු මට අපේ අම්මලට පිටින් යන්න බැ.. මට නතාශාව බඳින්න වෙනවා. මට සමාවෙන්න. මම ඔයාට හැමදාම ආදරෙයි සඳු..ඒත් අම්මලා ඉල්ලන එකම දේ නොදී ඉන්න මට බැ සඳු.." 


එතකොට මගේ අම්මලා මගෙන් බලාපොරොත්තු වෙන දේවල්? ඒවා ගැන ඔයාට ගාණක් නැද්ද විදූශ? 


ඔයා දැන් රින්ග් කට් දුන්නට ඔයා එවපු මැසෙජ් එකට එවන්න රිප්ලයි එකක් මා ලඟ නැ. ඒත් ආයෙත් ඔයාව දැක්කොත් එදාටත් මම ගල් ගැහිලා නතර වෙලා බලගෙන ඉඳියි. කියන්න දේවල් කොච්චර තිබුණත් ඒ හැමදේකින් ම වෙන්නේ ආයේ ආයේත් තුවාල පෑරෙන එක.. ඒ නිසාම ඔයා කතා නොකර යන එක හොඳයි විදූශ.




කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹ පෙනී
නැවති බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී



ගහ කොළ වලට දාහක් ඇස් නැති හින්දා
සුළඟට සියුම් දාහක් කන් නැති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා


සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරි....

Post Comment

Friday, October 7, 2011

අපේම වී අප ඉපදේවා..

සිනිඳු සුදු වැලි ඇතිරුනු වෙරළේ ඉඳගෙන අපි ඈත සිතිජය දිහා ඔහේ බලාගෙන හිටියා. ඇත්තටම සිතිජ ඉම ආදරණීය පෙම්වතුන්ගේ දයාබරම බලාපොරොත්තුව වෙන එක ඒතරම් පුදුමයක් නෙවෙයි. සිතජයේ ඈත අහසයි මුහුදයි එකට පෑහිලා. ඒ සිතිජ රේඛවේ ඉදන් ඉර එළිය මුළු පලාත පුරාම විහිදිලා. රන් පාට ඉර එළිය වැටුණු මුහුදු වතුර සතුටින් නටනවා. සිහින් හඬින් හෙමින් සැරේ  නැගෙන රැළි එකිනෙක ඇවිත් සුදු වැල්ලේ රටා අඳිනවා..

අන්න අදත් අර පොඩි ළමයි ටික වෙරළට ඇවිත්.. මගේ දිහා බලලා පුරුදු විදිහට පුංචි කොලු පැටියෙක් හිනා වුණා. මමත් වෑයමින් පුංචි හිනාවක් දෙතොලට අලව ගත්තා.. ඒ ළමයින්ට වෙනසක් නැ. ඔහේ සෙල්ලම් කරනවා.
"ඇත්තටම අද වෙනසක් තියෙනවද?" මම මගේ හිතෙන් ම අහගත්තා..

වෙරළ වෙනදා වගේමයි.. හෙමින් සැරේ හොරෙන් ඇවිත් කකුල් තෙමලා ඈතට ඇදිලා යනවා.. බහින ඉර.. එකෙත් වෙනසක් නැ.. රන් පාට ඉර එළිය.. වෙනදාටත් වඩා සනීපයි වගේ... වෙනදා වගේම පාට පාට සමනල්ලු වගේ සරුංගල් අහස අරක් කරගෙන.. සුළගත් වෙනදා වගේ ඇඟේ ගෑවි නොගෑවි යනවා.. වෙලාවකට කොන්ඩෙත් අරන් යන්න හදනවා..

මම ඈත මුහුද දිහා බලන් හිටියා. ඈත පුංචි තිතක් වගේ එකක් පේනවා. බෝට්ටුවක් වෙන්නැති. හැමදාම උදේට වෙරළේ නවත්තලා තියෙන නිල් පාට බෝට්ටුවද දන්නේ නැ. ඒත් ඉතින් මොක වුණාම මට මොකෝ.මටත් හිතන්න දේවල් නැ වගේ. ඒත් ඉතින් හිතනවා කියලා මොනාවා ගැන හිතන්නද? මට තේරෙන්නේ නැ.

මම ආයෙත් නිල් පාට අහස දිහා බැලුවා. පාට පාට සරුංගල් මග ඇරලා මගේ ඇස් සුදු පාට වළාකුලු හඹාගියා.සුදු පාට අද හරිම සුදුමැළි වෙලා වගේ. මම මටම කියාගත්තා. අනේ මන්දා.. හැමදේම වෙනදා වගේමයි..ඒත් ඇයි මට වෙනසක් දැනෙන්නේ?

මොකක්දෝ මහා මූසළකමක් දැනෙනවා. වැස්සක්වත් වැටෙන්නද මන්දා.. නෑ වැස්සක් නෙවියි. අද දවස වෙනස් තමා..අද ඔයයි මමයි එක ළඟ ඉඳගෙන හිටියට ගොඩාක් දුරස් වෙලා. ගව් ගාණක් දුර ගිහින් වගේ. වෙනදා නොනවත්වා දොඬමළු වෙන ඔයා අද ගොළු වෙලා. හැමවෙලේම හිනා වෙන ඔයාගේ ඇස් මළානික වෙලා රතු වෙලා. අඬලද මන්දා.ඒත් ඔයා හැඟීම් පිටට පෙන්නන කෙනෙක් නෙවියිනේ. ඔහේ හිස් බැල්මෙන් බලාගෙන ඉන්නවා.

ඔය ඇස් දෙකට එබිලා අහන්න දේවල් ගොඩාක් මගේ හිතේ තෙරෙපෙනවා. එත් ඔය ඇස් දිහා බලාගෙන මුකුත් අහන්න බැ. ඔයා නොකිව්ව දාහක් දේවල් ඇස් වල ලියවිලා. ජීවිතේ හැමදාම මාත් එක්ක සෙල්ලම් කළා. අදත් එහෙම දවසක්.

අපි කතා නොකර කොච්චර වෙලා හිටියද මන්දා. දැන් හොඳටම හවස් වෙලා. ඉර මුදුදේ ගිලෙන්න ඔන්න මෙන්න වගේ. සරුංගලුත් එක එක බිමට පාත් වෙනවා.
"අපි අපිට අයිති නැ" ඒ කටහඬ කාගේද?. ගොඩාක් වෙලා නිහඬව හිටපු ඔයා එකපාරටම සිහිනෙන් අවදි වුණා වගේ කියනවා.
 "හ්ම්ම්ම්..." කියන්න වෙනදෙයක් හිතගන්න බැරි නිසා මම හූමිටි තියනවා.

අද අපි මුණගැහෙන අන්තිම දවස. මට මොනාද කරන්නේ කියලා හිතාගන්නත් බැ.
"අඬන්නද?" මම මගේ හිතෙන් ඇහුව්වා.
"අඬල වැඩක් තියෙනවද?" හිත ආයේ මගේන් අහනවා.
"අනේ මන්දා"
"එයා හම්බුවෙන අන්තිම දවසේ අඬන්න එපා. අන්තිම මතකය කඳුළෙන් ලියන්නේ මොකටද..හැමදාම වගේ ලස්සන හිනාවෙන්ම ලියන්න" හිත කියනවා.
"ඒ කතාවත් ඇත්ත. ආයේ ඉතින් දවසක හමුවෙන්නෙ නැත්නම් අඬලා වෙන්වෙන එක හරි නැනේ. මොනා වුනත් එයා මගේ හිනාවට ආදරේයි. එයා මුලින්ම මට කැමති වුණේත් ඒ හිනාවටනේ. හිනා වෙනකොට මගේ ඇස් දිළිසෙනවලු.. අනේ මන්දා.එයා තමයි කියන්නේ..". මම මගේ හිතත් එක්ක දොඬමළු වුණා.

ටික ටික රෑ වෙනවා.
"දැන් හොඳටම හවස් වෙලා. ගෙදර යන්න" ඔයා කියනවා.
හිත එක්ක කතා කර ඉන්නකොට නොදැනීම මම ඔළුව ඔයාගෙ උරිස්සට තියාගෙන.
"අනේ මට මෙහෙම ඉන්න දෙන්න.." මම හිතින් ඇඬුවා. ඒත් හිත කිව්වා වගේ අඬලා ඔයාගෙන් වෙන්වෙන එක හරි නැ. ආයාසයෙන් හිනාවක් මවාගෙන "ඔයා යන්නේ නැද්ද?" මම අහනවා.
අන්තිම දවසෙත් එයා යන නොයන එක හොයනවා. අනේ මන්දා ගෑණු ගතියනේ. ආදරේ කරන මනුස්සයා ගැන හොයන එක ඉතින් ආසම දේ නේ. "මමත් යනවා." ඔයා ආයේ අහක බලාගෙන.
මම උරිස්සට හේතු වෙලාම ඉන්නවා. අයේ ඉතින් මෙහෙම දවසක් එන්නේම නැනේ.
"මේ ලොකේ විනාශ වෙලා අයේ මැවෙනවා නම්.. එතකොටවත් අපි අපේම වෙලා ඉපදේවි.." ඔයාටත් හිතෙන දේවල්.. මාව දාලා යන්න බැරිකමටද කොහෙද ඔහේ කියවනවා.

මම හිතින් පෙර දවස ගැන හිතුවා. දවසක් වෙරළේ අත් දෙක අල්ලගෙන අපි දෙන්නා ඇවිදන් ගියා. "අර" ඔයා බිමට අත දික් කරලා කිරි කවඩියක් පෙන්නුවා. ඒක කිරිම කිරි පාටයි. හදවතක හැඩයේ. ලා රෝස පාටින් අමුතු වයිරමක් වැටිලා. හරියට සුරංගනාවියෙක්ගේ හදවතක් වගේ.
"ඒක වාසනාවන්ත කවඩියක්" ඔයා අතට අහුලලා ගන්න ගමන් කිව්වා.
"වාසනාවන්ත කවඩියක්?" මගේ මූණේ ප්‍රශ්නාර්ථයක්.
"ඔව්. හදවත් හැඩේ කවඩි හොයාගන්න නැනේ වැඩිය. ඒක වාසනාව ගේනවා." ඔයාගේ ලේන්සුවෙන් ඒක හොඳට පිහිදන ගමන් ඔයා කිව්වා.
"ඉතින් ඒකේන් මොනාද ලැබෙන්නෙ?" මම ආසවෙන් ඒ කවඩිය දිහා බලගෙන ඇහුව්වා.
"ආදරේ"
මගේ ඇස් ඇතුළට එබිලා වගේ ඔය කිව්වා.
"හෙහ් හෙහ් හෙහ්.. ආදරේ? හ්ම්ම්ම්ම්..." මම හිනා වුණා. ඔයාගෙත් මූණේ ලස්සන හිනාවක්.
"ආහ්..මේක පර්ස් එකේ දාලා තියාගන්න.." ඔයා කවඩිය මගෙ අතට දුන්නා. "එතකොට ඔයාට?" ආයේ ප්‍රශ්නයක්.
"මට ඔයාගේ ආදරේ තියෙනවනෙ.. ඔයා කවඩියේ ආදරේ තියගන්න.. " අනේ හිනාවෙලා එහෙම කියනකොට ඔයාගේ ඇස් වල තියෙන කාන්තියට මම වශී වෙලා වගේ බලන් හිටියා.

ඒත් දැන් ඒ කවඩිය මගේ ලඟ නැ. කවඩිය පර්ස් එකත් එක්කම හොරු අරන්. දැන් ඔයාවත් හොරු අරන් යනවා. මගේ ළඟ කාගෙවත් ආදරයක් නැ. ඇස් දෙකට කඳුළු උනනවා. ඉක්ක්මනට මම අහස දිහා බැලුවා. එතකොට කඳුළු බිමට වැටෙන්නෙ නැනේ..
"ඇයි මැණිකේ?"
"නැ මුකුත් නැ" ආයාසයෙන් හිනාව මවාගත්තා. "එහෙනම් දැන් යන්න මගේ මැණිකේ. තව රෑ වුනොත් ගෙදරින් බය වෙයි."
"හ්ම්ම්ම්..." මම ඔයාගෙ අතට වාරු වෙලා හෙමිහිට නැගිට්ටා.
අපි දෙන්නා යන්නේ දෙපැත්තකට බව නොදන්නවා නෙමෙයි. ඒත් "යමු ද" කියලා අහන්නම හිතෙනවා. නැ එක්කෝ ඕනේ නැ. මම හිනාවෙලා "යන්නම්" කියලා ඔයාට පිටිපස්ස හරවලා ඇවිදන් යන්න ගත්තා. මම දන්නවා ඔයා මං දිහා බලන් ඉන්නේ. මම දන්නවා. ඒත් මට හැරිලා බලන්න බැ. කම්මුල් දිගේ පහළට බහින කඳුළු ඔයා දකීවි. පාර අයිනේ කඩල විකුණන කරත්තේ පොකට් රේඩියොවෙන් වාදනය වෙන ගීතයක් ඒ අන්තිම මොහොතට පසුබිම් සංගීතය සපයනවදෝ කොහෙද..
"අසුරු සැණින් එක මොහොතකදී
කාලය නැවතී ඇරඹී
විශ්වය අළුතින් බිහි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා.."

Post Comment

Thursday, October 6, 2011

මතකද හැන්දෑවේ..

"මතකද හැන්දෑවේ
අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුණා..."

මේ ගීතය ගුවන්විදුලියෙන් විකාශනය ඇසුණු විට මටත් නොදැනීම මගේ හිත අතීතයේ දවසකට පියමැන්නා.

එදා නම් මන්දාරම් අඳුරයි රෑ අඳුරයි දෙකම එකට එකතු වෙලා අපි වටේ හිටියා. මතකද ඒ හැන්දෑව?
කොළඹ රෑට තමා අවදිවෙන්නේ. ඒ වගේ රෑක සිරි පොද වැස්සේ අපි දෙන්නා ඇවිදගෙන ආවා. කුඩයක් වත් අතේ නැතුව.. ඒත් ඒ පොද වැස්ස අපිට බාධාවක් වුණේ නෑ..

අපි පෙම්වතුන් නෙමෙයි කියලා දැනන් හිටියේ අපි දෙන්නාම විතරයි. එක ළඟින් එකට අඩි තිය තිය හෙමින් කොඳුර කොඳුර එනකොට මිනිස්සු අපි දිහා බලන් ඉන්නවා කියලා අපිට මතක් වුණේ නැ නේද?

වැස්ස ගැන අපි කතා කළා මතකද? වැස්සට තෙමෙන්න මම හරිම ආසයි කියල මම කිව්වාම ඔය මගේ දිහා ඇස් හීන් කරලා බලලා කිව්ව "මං ඔයා වැස්සට තෙමෙනවට ආස නැ" කියලා.
මට පුංචි හිනාවකුත් ගියා ඒක ඇහුවාම. "ඔයා මාව ලෙඩ වෙයි කියලා බයද?" මම ඇස් ලොකු කරලා ඇහුව්වෙ ඔව් කියලා අහගන්න තියෙන ආසාවට.

 "ඔයා වැස්සට තෙමුණාම ලස්සන වැඩියි. එතකොට හැමෝම බලනවා ඔයා දිහා." හීන් කරපු ඇස් දෙකෙන් හිනාවෙන ගමන් ඔයා කිව්වා.
 "ඉතින් හැමෝම බැලුවාම මොකද වෙන්නෙ?" මම එහෙම ඇහුව්වෙ ඔයාගෙ ලස්සන ඇස් හිනා වෙන හැටි බලන්න.
ඒත් ඉතින් ඔයාගේ හැටි මට වෙනස් කරන්න බැ කියන්නඩ වගේ "එක අතකට මට මොකෝ නේද? බලනවා නම් බලපුවාවේ.." අහක බලාගෙන ඔයා කිව්වා.
ඔයා හැමදාමත් එහෙමයි. ලස්සන කතාවක් කියලා ඒක සබන් බුබුළක් පුපුරවනවා වගේ එකපාරටම නැති කරලා දානවා.මගේ මූණ වෙනස් වුණා කියලා ඔයා දකින්න ඇති, "තරහද?" හොරෙන් බලලා ඔයා ඇහුව්වා." මොකට තරහා වෙනවද" මමත් තරහ ඇති නැති ගාණට කිව්වා.
"හ්ම්ම්ම්.... අන්න බස් එකක්. දුවලා ගිහින් නගිමුද?" බස් නැවතුමේ නවත්තලා තිබුණ බස් එකක් දිහාට අත් දික් කරන ගමන් කිව්වා.
"අනේ අපි තව හෝල්ට් එකක් ඇවිදිලාම බස් එකට නගිමු?" මගේ හිත කෑගැව්වා. ඒත් ඉතින් හිත කෑගැහුව්වට ඇහෙන්නේ නැනේ.
"හා යමු" මමත් පය ඉක්මන් කරන ගමන් කිව්වා.
අපි දෙන්නා දුවලා ගිහින් බසයට ගොඩ වුණා.අපේ වෙලාව හොඳකමද නැත්නම් මල්සරාගේ වෙලාව හොඳකමද දන්නේ නැ අපි දෙන්නාට එක ළඟ ඉඳගන්න සීට් එකක් හම්බුවුණා.

මතකද? මම යාන්තමට ජනේලේ ඇරලා සීන් සිරි පොද මූණේ වද්ද ගන්නකොට ඔයා හොරෙන් බලාගෙන හිටියා? හ්ම්ම්ම්... ඔයා හොරෙන් බලන් හිටියට මම ඒක දැක්කා. මගේ ඇස් පියාගෙන වගේ හිටියට ඒ ඇස් හැරිලා තිබුණේ ඔයා දිහාවටමයි. හැමදාමත් ඒ ඇස් හොරෙන් ඔයා දිහාවටම හැරිලා බලන් ඉදිවි.. ඔයා දන්නෙත් නැතුව..

අපි දෙන්නා ගොඩාක් දේවල් කතා කළා. සරසවිය ගැන.. අපි දෙන්නාගේ ඉස්කෝල ගැන.. ඔයාගේ පරණ ප්‍රේම සම්බන්ධයක් ගැන.. මගේ පළවෙනි ප්‍රේම සම්බන්ධය ගැන.

ඒත් ඒ ඔක්කෝම අතරේ මට කියාගන්න බැරි තව දෙයක් හිත ඇතුළේ අඬ අඬා හිටියා. අපි දෙන්නා අපේ පරණ දේවල් කතා කරන කොට අපේ ඇස් ගැටුණු හැම වෙලාවකම මේ මොහොත ගැන කතා කළා. මේ මොහොතේ අපි දෙන්නව වට කරන් හිටිය ඒ අමුතු හැඟීම ගැන.. ඒ ළෙන්ගතුකම ගැන.. ඇස් කතා කළා.. ඇස් නොනවත්වා දොඬමළු වුණා. මටත් ඕනේ වුණා ඒ මොහොත ගැන දොඬමළු වෙන්න.. ඇස් දෙක පියාගෙන ඒ මොහොත විඳින්න..ඔයාගේ ඇස් වලත් ඒ ආසාව එදා මං දැක්කා. ඒත් සමහරවිට ඒ මොහොතේ විතරක් තිබුණ දෙයක් වෙන්නැති.

ඇස් දෙකෙන් කතා කරපු ඒ හැඟීම් ඔයාගේ කනට කොඳුරන්න මට ආසව තිබුණා. ඒත් ආයේ දවසක් එයි නේද කියලා හිතලා මම ඒදා නිහඬ වුණා. අනේ..ඒ වගේ දවසක් අයේ එන්නේ නෑ කියලා මම දැනන් හිටියා නම්.. එහෙනම් ඔයාට කියන්න තිබිච්ච ගොඩක් දේවල් මම ඒ මොහෝතේ කියනවා. ඒත් ජීවිතේ අපි හිතන දේවල්ම වෙන්නෙ නෑ.

වෙනදට බස් එක ඔයා බහින තැනට එන්න පැය ගාණක් යනවා. ඒත් එදා බස් එක ඉගිල්ලුනාද කොහෙදෝ.. ඔයා බහින තැනටම ඇවිත්..
"තනියම යන්න පුළුවන්ද?" එතරම් සෙනග හිටියෙ නැති හිස් බස් එක වටේ බලලා ඔයා ඇහුව්වා.
"මට තනියම යන්න පුළුවන්" මම කිව්වා.
ඒත් ඔයාට ඇහුණේ නැති වචන ටිකකුත් මම කිව්වා "ඔයාත් එනවා නම් මම කැමතියි".
ඔයාට ඒක ඇහුණේ නැ. ඔයා ඇස් දෙකෙන් හිනා වෙලා "ගෙදර ගිහින් මට මැසෙජ් එකක් එවන්න. අමතක කරන්න එපා" කියලා බැහලා ගියා.
මට ඔයා දිහා අයෙත් වතාවක් බලන්න ඕනේකම තිබුණා. ඒත් මගේ ඇස් වලට දන්නේම නැතුව ආපු කඳුළු ඔයා දැක්කොත් කියලා බය හිතුණ නිසා ඔයා බහින දිහා බලන්නෙ නැතුව ජනේලෙන් එළිය බලගෙන හිටියා. ඔයා බහින්න ෆුට් බෝඩ් එකට ගිහින් අයේ හැරිලා බලනවා යාන්තමින් වගේ ඇස් කොනින් මම දැක්කා. අනේ මට කෑගහලා අඬන්න ඕනේ වුණා. ඒත් මම කඳුළු හිර කරගෙන ජනේලෙ දිගේ බේරෙන වැහි පොද දිහා බලන් හිටියා..

එදායින් පස්සේ අපි අතරේ ගොඩාක් දේවල් වුණා.. ඒ කිසිම දෙයක් මේ තරම් ආදරණීය විදිහට හිතට දැණුනේ නෑ. ආයේ ඒ වගේ දවසක් එන්නේ නෑ කියලාත් මම දන්නවා. ඔයා මගේන් ගොඩාක් දුරටම ගිහිල්ලා.. හැමදාම ඔයා කළා වගේ මගේ සිහින සබන් බෝල වගේ පුපුරවලා හැරියා. ඒත් ඔයා එහෙම කලේ හිතලා නෙවෙයි කියලාත් මම දන්නවා. ඔයාට එන්න පුළුවන් නම් ඔයා නැවිත් ඉන්නේ නැ කියලත් මම දන්නවා. ඒත් ඔයා අයේ එන්න බැරි තරම් දුරකට ගිහින්.. එහෙම ගියේ ඇයි කියලවත් ගියේ කොහොමද කියලවත් මම අහන්නේ නැ.. ඔයාත් ඒවට දෙන්න උත්තර දන්නෙ නෑ කියලා මම දන්නවා..

ඒත් අයේ එකම එක සැරයක් ඒ දවසට යන්න තියෙනවා නම් ඒ වෙනුවෙන් ඕනේම දෙයක් කැප කරන්න මම ලෑස්තියි. ඒ වගේ සිරි පොද යටින් මන්දාරම් අඳුරේ මම ඊට පස්සෙ ඕනේ තරම් ඇවිදලා ඇති. ඉස්සරහටත් ඒ වගේ දවස් ඕනේ තරම් මට මුණගැහෙයි. ඒත් ඒ එක දවසක්වත් එදා හැන්දෑව වගේ වෙන්න නැ.. ඔයා ආයෙත් වැස්ස යටින් කොඳුර කොඳුර යන්න එන්නේ නැ..

ඇස් දෙකට නොදැනීම ආපු උණු කඳුළක් ඇස් දෙක ඇතුළේ ඉඩ නැති වෙලා කම්මුල් දිගේ පහළට බැස්සා.. අතීතයේ මාවතක සක්මන් කර කර හිටපු මම මගේ හිතත් එකතු කරගෙන ඉදගෙන හිටපු තැනින් නැගිට්ටේ ආයේ සින්දු විකාශයන නොවෙන්නම ගුවන්විදුලිය පෙට්ටියකට දාල වහන්න හිතාගෙන..

Post Comment