Thursday, October 27, 2011

Red Riding Hood Quotes

"Who says living is easy? Not me. I know it is not easy as the way we want. but it is not hard as we think either."
 "This is a game, a game of living. A game is never easy but is not impossible to play."
"If you want to be happy stick to them who need you..not to they whom you need.."
"Once in a while enjoy the mess in your life without trying to clean it up. Because you can't clean up everything but you can have some fun in that mess. Enjoy your messy life also."
"Sometimes we should not say everything we want to say.. keep some for own self"

Post Comment

Monday, October 17, 2011

නික්මිලා යන්න පෙර..



දහක් දුක් සිත් තුලේ තෙරපිලා
තිබෙන මුත් සිනාසෙමි මම
හඬන්නට බැරි නිසා මට
ලොවට රහසින් සැඟවිලා


එන්නට එපා මා ළඟට
එකම සැරයක් කීවේනම් ඔබ
එන්නේ නෑ මම ඔබ වෙතට
රිදවාගන්නට මගේ හදවත..


ඔබත් නිහඬව සිටී බලා
මමත් නිසලය තනිවෙලා
නොකියාම මේ ලෙස නික්මිලා
යන්නේ කිම නෑ මට වැටහිලා


එපා පබඳින්න මුසාවන් මට
යන්න ඔබ නික්මිලා දුරටම
යන්න කලියෙන් කියනවද මට 
නික්ම යන්නට කරුණු කිම

Post Comment

අකීකරු වදන්

වරක් නොව
සියදහස් වාරයක්
දොස් පැවරීමි මම
මගේ නොහික්මුනු
මුවට..
අකීකරු වදන්
පැවසීය ආදරය ඔබට
මා වෙතින් ඉවතට
නුඹව දුර ගෙන ගිය
ඒ අකීකරු වදන්
නොකිව යුතුව තිබුණි මා..

Post Comment

දිනක්..


ජීවිත නවාතැනේ
දිනක
ඔබ මා හමුවිය
හදිසියේ ම...
මගේ නෙතු අද්දර
නතරවිය ඔබේ නෙත
ඔබේ වදන් ළඟ
නැවතුණා මගේ සිත..
නොදැනීම හමුවෙලා
නොදැනීම ළං වුණා..
ළං වෙච්ච අපේ නෙත්
දුරස් නොවුනත් සබඳ
හදිසියේ ම
දිනක්..
දුටිමි අප
නොදැනීම
වෙන්වෙලා වග..

Post Comment

Sunday, October 16, 2011

එන්නට නම් එපා ඔබ....


පියවුණු දිනක මාගේ
හඬා වැළපෙන නෙත්
එන්නට නම් එපා ඔබ
දකින්නට නිසල මා
දරන්නට බැරි වෙයි මට
නැඟුනොතින් එකම එක
උණු කඳුළක් ඔබ නෙතට...

පියවුණු දිනක මාගේ
හඬා වැළපෙන නෙත්
එන්නට නම් එපා ඔබ
දකින්නට නිසල මා
දැවෙයි මා හෙලුවොත්
ඔබ එකම එක සුසුමක්
මා වෙනුවෙන් නොගැහෙන හදින්...

පියවුණු දිනක මාගේ
හඬා වැළපෙන නෙත්
එන්නට නම් එපා ඔබ
දකින්නට නිසල මා
මියෙයි මා නැවතත්
දුටුවොතින් නුඹ ශෝක වනු
දෙස බලා නිසල මා..

Post Comment

නොදන්නාකම....

ඔබ මට ආදරෙයි
දැනුනු නිසා මට
පෙරලා ආදරය 
දුනිමි ඔබට මම
නමුත් ඔබ නැතිලු
ආදරේ මට
කිව්වාට ඔබ එහෙම
දුන්නු ආදරයක්
යලිත් අරගන්න
දන්නෙ නැ මම තවම...

Post Comment

Saturday, October 15, 2011

යන්න ගිය ඔබ..

යන්න ඕනෙමයි..
ඉන්න බෑ මට
ඔබ කිව් නිසා..
යන්න දුන්නා
ඔබට මම...
ඔබ ගියා
ඔබේ ආදරේ සොයා..
නමුත් ඒ
මගේ ජීවිතෙන්ම විතරයි..
ඔබ යන්න ගියේ..
හැමදාම හදවතේ
ඉන්නවා ඔබ..
ආදරණීයම
මතකය ලෙසින්....

Post Comment

Saturday, October 8, 2011

ඔබ..

රිදුම් දෙන දිගැස් වල
ලැගුම් ගත් කඳුළ ඔබ
වේදනා පිරුණු හද
දවාලන සුසුම ඔබ


නමුදු ඒ කඳුළ තුළ
පීරි ඇත ඔබෙ සුවඳ
කෙසේ මම් සලන්නද
ඔබ රැඳුණු ඒ කඳුළ


දවන මුත් සුසුම්පොද
නිවාදමමිද කෙලෙස
ඔබෙ මතක රැඳුණු තැන
නිධන් ගත් ඒ සුසුම

Post Comment

Friday, October 7, 2011

අපේම වී අප ඉපදේවා..

සිනිඳු සුදු වැලි ඇතිරුනු වෙරළේ ඉඳගෙන අපි ඈත සිතිජය දිහා ඔහේ බලාගෙන හිටියා. ඇත්තටම සිතිජ ඉම ආදරණීය පෙම්වතුන්ගේ දයාබරම බලාපොරොත්තුව වෙන එක ඒතරම් පුදුමයක් නෙවෙයි. සිතජයේ ඈත අහසයි මුහුදයි එකට පෑහිලා. ඒ සිතිජ රේඛවේ ඉදන් ඉර එළිය මුළු පලාත පුරාම විහිදිලා. රන් පාට ඉර එළිය වැටුණු මුහුදු වතුර සතුටින් නටනවා. සිහින් හඬින් හෙමින් සැරේ  නැගෙන රැළි එකිනෙක ඇවිත් සුදු වැල්ලේ රටා අඳිනවා..

අන්න අදත් අර පොඩි ළමයි ටික වෙරළට ඇවිත්.. මගේ දිහා බලලා පුරුදු විදිහට පුංචි කොලු පැටියෙක් හිනා වුණා. මමත් වෑයමින් පුංචි හිනාවක් දෙතොලට අලව ගත්තා.. ඒ ළමයින්ට වෙනසක් නැ. ඔහේ සෙල්ලම් කරනවා.
"ඇත්තටම අද වෙනසක් තියෙනවද?" මම මගේ හිතෙන් ම අහගත්තා..

වෙරළ වෙනදා වගේමයි.. හෙමින් සැරේ හොරෙන් ඇවිත් කකුල් තෙමලා ඈතට ඇදිලා යනවා.. බහින ඉර.. එකෙත් වෙනසක් නැ.. රන් පාට ඉර එළිය.. වෙනදාටත් වඩා සනීපයි වගේ... වෙනදා වගේම පාට පාට සමනල්ලු වගේ සරුංගල් අහස අරක් කරගෙන.. සුළගත් වෙනදා වගේ ඇඟේ ගෑවි නොගෑවි යනවා.. වෙලාවකට කොන්ඩෙත් අරන් යන්න හදනවා..

මම ඈත මුහුද දිහා බලන් හිටියා. ඈත පුංචි තිතක් වගේ එකක් පේනවා. බෝට්ටුවක් වෙන්නැති. හැමදාම උදේට වෙරළේ නවත්තලා තියෙන නිල් පාට බෝට්ටුවද දන්නේ නැ. ඒත් ඉතින් මොක වුණාම මට මොකෝ.මටත් හිතන්න දේවල් නැ වගේ. ඒත් ඉතින් හිතනවා කියලා මොනාවා ගැන හිතන්නද? මට තේරෙන්නේ නැ.

මම ආයෙත් නිල් පාට අහස දිහා බැලුවා. පාට පාට සරුංගල් මග ඇරලා මගේ ඇස් සුදු පාට වළාකුලු හඹාගියා.සුදු පාට අද හරිම සුදුමැළි වෙලා වගේ. මම මටම කියාගත්තා. අනේ මන්දා.. හැමදේම වෙනදා වගේමයි..ඒත් ඇයි මට වෙනසක් දැනෙන්නේ?

මොකක්දෝ මහා මූසළකමක් දැනෙනවා. වැස්සක්වත් වැටෙන්නද මන්දා.. නෑ වැස්සක් නෙවියි. අද දවස වෙනස් තමා..අද ඔයයි මමයි එක ළඟ ඉඳගෙන හිටියට ගොඩාක් දුරස් වෙලා. ගව් ගාණක් දුර ගිහින් වගේ. වෙනදා නොනවත්වා දොඬමළු වෙන ඔයා අද ගොළු වෙලා. හැමවෙලේම හිනා වෙන ඔයාගේ ඇස් මළානික වෙලා රතු වෙලා. අඬලද මන්දා.ඒත් ඔයා හැඟීම් පිටට පෙන්නන කෙනෙක් නෙවියිනේ. ඔහේ හිස් බැල්මෙන් බලාගෙන ඉන්නවා.

ඔය ඇස් දෙකට එබිලා අහන්න දේවල් ගොඩාක් මගේ හිතේ තෙරෙපෙනවා. එත් ඔය ඇස් දිහා බලාගෙන මුකුත් අහන්න බැ. ඔයා නොකිව්ව දාහක් දේවල් ඇස් වල ලියවිලා. ජීවිතේ හැමදාම මාත් එක්ක සෙල්ලම් කළා. අදත් එහෙම දවසක්.

අපි කතා නොකර කොච්චර වෙලා හිටියද මන්දා. දැන් හොඳටම හවස් වෙලා. ඉර මුදුදේ ගිලෙන්න ඔන්න මෙන්න වගේ. සරුංගලුත් එක එක බිමට පාත් වෙනවා.
"අපි අපිට අයිති නැ" ඒ කටහඬ කාගේද?. ගොඩාක් වෙලා නිහඬව හිටපු ඔයා එකපාරටම සිහිනෙන් අවදි වුණා වගේ කියනවා.
 "හ්ම්ම්ම්..." කියන්න වෙනදෙයක් හිතගන්න බැරි නිසා මම හූමිටි තියනවා.

අද අපි මුණගැහෙන අන්තිම දවස. මට මොනාද කරන්නේ කියලා හිතාගන්නත් බැ.
"අඬන්නද?" මම මගේ හිතෙන් ඇහුව්වා.
"අඬල වැඩක් තියෙනවද?" හිත ආයේ මගේන් අහනවා.
"අනේ මන්දා"
"එයා හම්බුවෙන අන්තිම දවසේ අඬන්න එපා. අන්තිම මතකය කඳුළෙන් ලියන්නේ මොකටද..හැමදාම වගේ ලස්සන හිනාවෙන්ම ලියන්න" හිත කියනවා.
"ඒ කතාවත් ඇත්ත. ආයේ ඉතින් දවසක හමුවෙන්නෙ නැත්නම් අඬලා වෙන්වෙන එක හරි නැනේ. මොනා වුනත් එයා මගේ හිනාවට ආදරේයි. එයා මුලින්ම මට කැමති වුණේත් ඒ හිනාවටනේ. හිනා වෙනකොට මගේ ඇස් දිළිසෙනවලු.. අනේ මන්දා.එයා තමයි කියන්නේ..". මම මගේ හිතත් එක්ක දොඬමළු වුණා.

ටික ටික රෑ වෙනවා.
"දැන් හොඳටම හවස් වෙලා. ගෙදර යන්න" ඔයා කියනවා.
හිත එක්ක කතා කර ඉන්නකොට නොදැනීම මම ඔළුව ඔයාගෙ උරිස්සට තියාගෙන.
"අනේ මට මෙහෙම ඉන්න දෙන්න.." මම හිතින් ඇඬුවා. ඒත් හිත කිව්වා වගේ අඬලා ඔයාගෙන් වෙන්වෙන එක හරි නැ. ආයාසයෙන් හිනාවක් මවාගෙන "ඔයා යන්නේ නැද්ද?" මම අහනවා.
අන්තිම දවසෙත් එයා යන නොයන එක හොයනවා. අනේ මන්දා ගෑණු ගතියනේ. ආදරේ කරන මනුස්සයා ගැන හොයන එක ඉතින් ආසම දේ නේ. "මමත් යනවා." ඔයා ආයේ අහක බලාගෙන.
මම උරිස්සට හේතු වෙලාම ඉන්නවා. අයේ ඉතින් මෙහෙම දවසක් එන්නේම නැනේ.
"මේ ලොකේ විනාශ වෙලා අයේ මැවෙනවා නම්.. එතකොටවත් අපි අපේම වෙලා ඉපදේවි.." ඔයාටත් හිතෙන දේවල්.. මාව දාලා යන්න බැරිකමටද කොහෙද ඔහේ කියවනවා.

මම හිතින් පෙර දවස ගැන හිතුවා. දවසක් වෙරළේ අත් දෙක අල්ලගෙන අපි දෙන්නා ඇවිදන් ගියා. "අර" ඔයා බිමට අත දික් කරලා කිරි කවඩියක් පෙන්නුවා. ඒක කිරිම කිරි පාටයි. හදවතක හැඩයේ. ලා රෝස පාටින් අමුතු වයිරමක් වැටිලා. හරියට සුරංගනාවියෙක්ගේ හදවතක් වගේ.
"ඒක වාසනාවන්ත කවඩියක්" ඔයා අතට අහුලලා ගන්න ගමන් කිව්වා.
"වාසනාවන්ත කවඩියක්?" මගේ මූණේ ප්‍රශ්නාර්ථයක්.
"ඔව්. හදවත් හැඩේ කවඩි හොයාගන්න නැනේ වැඩිය. ඒක වාසනාව ගේනවා." ඔයාගේ ලේන්සුවෙන් ඒක හොඳට පිහිදන ගමන් ඔයා කිව්වා.
"ඉතින් ඒකේන් මොනාද ලැබෙන්නෙ?" මම ආසවෙන් ඒ කවඩිය දිහා බලගෙන ඇහුව්වා.
"ආදරේ"
මගේ ඇස් ඇතුළට එබිලා වගේ ඔය කිව්වා.
"හෙහ් හෙහ් හෙහ්.. ආදරේ? හ්ම්ම්ම්ම්..." මම හිනා වුණා. ඔයාගෙත් මූණේ ලස්සන හිනාවක්.
"ආහ්..මේක පර්ස් එකේ දාලා තියාගන්න.." ඔයා කවඩිය මගෙ අතට දුන්නා. "එතකොට ඔයාට?" ආයේ ප්‍රශ්නයක්.
"මට ඔයාගේ ආදරේ තියෙනවනෙ.. ඔයා කවඩියේ ආදරේ තියගන්න.. " අනේ හිනාවෙලා එහෙම කියනකොට ඔයාගේ ඇස් වල තියෙන කාන්තියට මම වශී වෙලා වගේ බලන් හිටියා.

ඒත් දැන් ඒ කවඩිය මගේ ලඟ නැ. කවඩිය පර්ස් එකත් එක්කම හොරු අරන්. දැන් ඔයාවත් හොරු අරන් යනවා. මගේ ළඟ කාගෙවත් ආදරයක් නැ. ඇස් දෙකට කඳුළු උනනවා. ඉක්ක්මනට මම අහස දිහා බැලුවා. එතකොට කඳුළු බිමට වැටෙන්නෙ නැනේ..
"ඇයි මැණිකේ?"
"නැ මුකුත් නැ" ආයාසයෙන් හිනාව මවාගත්තා. "එහෙනම් දැන් යන්න මගේ මැණිකේ. තව රෑ වුනොත් ගෙදරින් බය වෙයි."
"හ්ම්ම්ම්..." මම ඔයාගෙ අතට වාරු වෙලා හෙමිහිට නැගිට්ටා.
අපි දෙන්නා යන්නේ දෙපැත්තකට බව නොදන්නවා නෙමෙයි. ඒත් "යමු ද" කියලා අහන්නම හිතෙනවා. නැ එක්කෝ ඕනේ නැ. මම හිනාවෙලා "යන්නම්" කියලා ඔයාට පිටිපස්ස හරවලා ඇවිදන් යන්න ගත්තා. මම දන්නවා ඔයා මං දිහා බලන් ඉන්නේ. මම දන්නවා. ඒත් මට හැරිලා බලන්න බැ. කම්මුල් දිගේ පහළට බහින කඳුළු ඔයා දකීවි. පාර අයිනේ කඩල විකුණන කරත්තේ පොකට් රේඩියොවෙන් වාදනය වෙන ගීතයක් ඒ අන්තිම මොහොතට පසුබිම් සංගීතය සපයනවදෝ කොහෙද..
"අසුරු සැණින් එක මොහොතකදී
කාලය නැවතී ඇරඹී
විශ්වය අළුතින් බිහි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා.."

Post Comment

Thursday, October 6, 2011

මතකද හැන්දෑවේ..

"මතකද හැන්දෑවේ
අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුණා..."

මේ ගීතය ගුවන්විදුලියෙන් විකාශනය ඇසුණු විට මටත් නොදැනීම මගේ හිත අතීතයේ දවසකට පියමැන්නා.

එදා නම් මන්දාරම් අඳුරයි රෑ අඳුරයි දෙකම එකට එකතු වෙලා අපි වටේ හිටියා. මතකද ඒ හැන්දෑව?
කොළඹ රෑට තමා අවදිවෙන්නේ. ඒ වගේ රෑක සිරි පොද වැස්සේ අපි දෙන්නා ඇවිදගෙන ආවා. කුඩයක් වත් අතේ නැතුව.. ඒත් ඒ පොද වැස්ස අපිට බාධාවක් වුණේ නෑ..

අපි පෙම්වතුන් නෙමෙයි කියලා දැනන් හිටියේ අපි දෙන්නාම විතරයි. එක ළඟින් එකට අඩි තිය තිය හෙමින් කොඳුර කොඳුර එනකොට මිනිස්සු අපි දිහා බලන් ඉන්නවා කියලා අපිට මතක් වුණේ නැ නේද?

වැස්ස ගැන අපි කතා කළා මතකද? වැස්සට තෙමෙන්න මම හරිම ආසයි කියල මම කිව්වාම ඔය මගේ දිහා ඇස් හීන් කරලා බලලා කිව්ව "මං ඔයා වැස්සට තෙමෙනවට ආස නැ" කියලා.
මට පුංචි හිනාවකුත් ගියා ඒක ඇහුවාම. "ඔයා මාව ලෙඩ වෙයි කියලා බයද?" මම ඇස් ලොකු කරලා ඇහුව්වෙ ඔව් කියලා අහගන්න තියෙන ආසාවට.

 "ඔයා වැස්සට තෙමුණාම ලස්සන වැඩියි. එතකොට හැමෝම බලනවා ඔයා දිහා." හීන් කරපු ඇස් දෙකෙන් හිනාවෙන ගමන් ඔයා කිව්වා.
 "ඉතින් හැමෝම බැලුවාම මොකද වෙන්නෙ?" මම එහෙම ඇහුව්වෙ ඔයාගෙ ලස්සන ඇස් හිනා වෙන හැටි බලන්න.
ඒත් ඉතින් ඔයාගේ හැටි මට වෙනස් කරන්න බැ කියන්නඩ වගේ "එක අතකට මට මොකෝ නේද? බලනවා නම් බලපුවාවේ.." අහක බලාගෙන ඔයා කිව්වා.
ඔයා හැමදාමත් එහෙමයි. ලස්සන කතාවක් කියලා ඒක සබන් බුබුළක් පුපුරවනවා වගේ එකපාරටම නැති කරලා දානවා.මගේ මූණ වෙනස් වුණා කියලා ඔයා දකින්න ඇති, "තරහද?" හොරෙන් බලලා ඔයා ඇහුව්වා." මොකට තරහා වෙනවද" මමත් තරහ ඇති නැති ගාණට කිව්වා.
"හ්ම්ම්ම්.... අන්න බස් එකක්. දුවලා ගිහින් නගිමුද?" බස් නැවතුමේ නවත්තලා තිබුණ බස් එකක් දිහාට අත් දික් කරන ගමන් කිව්වා.
"අනේ අපි තව හෝල්ට් එකක් ඇවිදිලාම බස් එකට නගිමු?" මගේ හිත කෑගැව්වා. ඒත් ඉතින් හිත කෑගැහුව්වට ඇහෙන්නේ නැනේ.
"හා යමු" මමත් පය ඉක්මන් කරන ගමන් කිව්වා.
අපි දෙන්නා දුවලා ගිහින් බසයට ගොඩ වුණා.අපේ වෙලාව හොඳකමද නැත්නම් මල්සරාගේ වෙලාව හොඳකමද දන්නේ නැ අපි දෙන්නාට එක ළඟ ඉඳගන්න සීට් එකක් හම්බුවුණා.

මතකද? මම යාන්තමට ජනේලේ ඇරලා සීන් සිරි පොද මූණේ වද්ද ගන්නකොට ඔයා හොරෙන් බලාගෙන හිටියා? හ්ම්ම්ම්... ඔයා හොරෙන් බලන් හිටියට මම ඒක දැක්කා. මගේ ඇස් පියාගෙන වගේ හිටියට ඒ ඇස් හැරිලා තිබුණේ ඔයා දිහාවටමයි. හැමදාමත් ඒ ඇස් හොරෙන් ඔයා දිහාවටම හැරිලා බලන් ඉදිවි.. ඔයා දන්නෙත් නැතුව..

අපි දෙන්නා ගොඩාක් දේවල් කතා කළා. සරසවිය ගැන.. අපි දෙන්නාගේ ඉස්කෝල ගැන.. ඔයාගේ පරණ ප්‍රේම සම්බන්ධයක් ගැන.. මගේ පළවෙනි ප්‍රේම සම්බන්ධය ගැන.

ඒත් ඒ ඔක්කෝම අතරේ මට කියාගන්න බැරි තව දෙයක් හිත ඇතුළේ අඬ අඬා හිටියා. අපි දෙන්නා අපේ පරණ දේවල් කතා කරන කොට අපේ ඇස් ගැටුණු හැම වෙලාවකම මේ මොහොත ගැන කතා කළා. මේ මොහොතේ අපි දෙන්නව වට කරන් හිටිය ඒ අමුතු හැඟීම ගැන.. ඒ ළෙන්ගතුකම ගැන.. ඇස් කතා කළා.. ඇස් නොනවත්වා දොඬමළු වුණා. මටත් ඕනේ වුණා ඒ මොහොත ගැන දොඬමළු වෙන්න.. ඇස් දෙක පියාගෙන ඒ මොහොත විඳින්න..ඔයාගේ ඇස් වලත් ඒ ආසාව එදා මං දැක්කා. ඒත් සමහරවිට ඒ මොහොතේ විතරක් තිබුණ දෙයක් වෙන්නැති.

ඇස් දෙකෙන් කතා කරපු ඒ හැඟීම් ඔයාගේ කනට කොඳුරන්න මට ආසව තිබුණා. ඒත් ආයේ දවසක් එයි නේද කියලා හිතලා මම ඒදා නිහඬ වුණා. අනේ..ඒ වගේ දවසක් අයේ එන්නේ නෑ කියලා මම දැනන් හිටියා නම්.. එහෙනම් ඔයාට කියන්න තිබිච්ච ගොඩක් දේවල් මම ඒ මොහෝතේ කියනවා. ඒත් ජීවිතේ අපි හිතන දේවල්ම වෙන්නෙ නෑ.

වෙනදට බස් එක ඔයා බහින තැනට එන්න පැය ගාණක් යනවා. ඒත් එදා බස් එක ඉගිල්ලුනාද කොහෙදෝ.. ඔයා බහින තැනටම ඇවිත්..
"තනියම යන්න පුළුවන්ද?" එතරම් සෙනග හිටියෙ නැති හිස් බස් එක වටේ බලලා ඔයා ඇහුව්වා.
"මට තනියම යන්න පුළුවන්" මම කිව්වා.
ඒත් ඔයාට ඇහුණේ නැති වචන ටිකකුත් මම කිව්වා "ඔයාත් එනවා නම් මම කැමතියි".
ඔයාට ඒක ඇහුණේ නැ. ඔයා ඇස් දෙකෙන් හිනා වෙලා "ගෙදර ගිහින් මට මැසෙජ් එකක් එවන්න. අමතක කරන්න එපා" කියලා බැහලා ගියා.
මට ඔයා දිහා අයෙත් වතාවක් බලන්න ඕනේකම තිබුණා. ඒත් මගේ ඇස් වලට දන්නේම නැතුව ආපු කඳුළු ඔයා දැක්කොත් කියලා බය හිතුණ නිසා ඔයා බහින දිහා බලන්නෙ නැතුව ජනේලෙන් එළිය බලගෙන හිටියා. ඔයා බහින්න ෆුට් බෝඩ් එකට ගිහින් අයේ හැරිලා බලනවා යාන්තමින් වගේ ඇස් කොනින් මම දැක්කා. අනේ මට කෑගහලා අඬන්න ඕනේ වුණා. ඒත් මම කඳුළු හිර කරගෙන ජනේලෙ දිගේ බේරෙන වැහි පොද දිහා බලන් හිටියා..

එදායින් පස්සේ අපි අතරේ ගොඩාක් දේවල් වුණා.. ඒ කිසිම දෙයක් මේ තරම් ආදරණීය විදිහට හිතට දැණුනේ නෑ. ආයේ ඒ වගේ දවසක් එන්නේ නෑ කියලාත් මම දන්නවා. ඔයා මගේන් ගොඩාක් දුරටම ගිහිල්ලා.. හැමදාම ඔයා කළා වගේ මගේ සිහින සබන් බෝල වගේ පුපුරවලා හැරියා. ඒත් ඔයා එහෙම කලේ හිතලා නෙවෙයි කියලාත් මම දන්නවා. ඔයාට එන්න පුළුවන් නම් ඔයා නැවිත් ඉන්නේ නැ කියලත් මම දන්නවා. ඒත් ඔයා අයේ එන්න බැරි තරම් දුරකට ගිහින්.. එහෙම ගියේ ඇයි කියලවත් ගියේ කොහොමද කියලවත් මම අහන්නේ නැ.. ඔයාත් ඒවට දෙන්න උත්තර දන්නෙ නෑ කියලා මම දන්නවා..

ඒත් අයේ එකම එක සැරයක් ඒ දවසට යන්න තියෙනවා නම් ඒ වෙනුවෙන් ඕනේම දෙයක් කැප කරන්න මම ලෑස්තියි. ඒ වගේ සිරි පොද යටින් මන්දාරම් අඳුරේ මම ඊට පස්සෙ ඕනේ තරම් ඇවිදලා ඇති. ඉස්සරහටත් ඒ වගේ දවස් ඕනේ තරම් මට මුණගැහෙයි. ඒත් ඒ එක දවසක්වත් එදා හැන්දෑව වගේ වෙන්න නැ.. ඔයා ආයෙත් වැස්ස යටින් කොඳුර කොඳුර යන්න එන්නේ නැ..

ඇස් දෙකට නොදැනීම ආපු උණු කඳුළක් ඇස් දෙක ඇතුළේ ඉඩ නැති වෙලා කම්මුල් දිගේ පහළට බැස්සා.. අතීතයේ මාවතක සක්මන් කර කර හිටපු මම මගේ හිතත් එකතු කරගෙන ඉදගෙන හිටපු තැනින් නැගිට්ටේ ආයේ සින්දු විකාශයන නොවෙන්නම ගුවන්විදුලිය පෙට්ටියකට දාල වහන්න හිතාගෙන..

Post Comment

Tuesday, October 4, 2011

හිත හොඳ මිතුරා

හදිසියේ බුකියෙන්
මුණගැහුණු ඔහු
මිතුරෙක්ය අවංක
සෑබැ සොයුරෙක්ය
හිත හොඳ කොල්ලෙක්ය..
සුපුරු මුහුණ 
ඇස නොගැටුනි 
දිනයක් දෙකක්
අක්‍රීය කොට බුකිය
නොකියාම ඔහු...
සියක් මිතුරන් මැද
දැණුනි ඔහු නැති 
අඩුව..


Post Comment

Monday, October 3, 2011

හිස් ම හිස් පිටු

ප්‍රමේයන් සූත්‍ර
සයින් කොස් ටෑන්
කෝණ වල අගය
පාද කීයක් ඇද්ද
පයිතගරස්ලාටත්
වෙන වැඩ නැද්ද මන්දා
ප්‍රමේයන් සොයාගෙන
දිළිඳු මා පෙලනවා
ඉලක්කම් තටු කරන්
ඉගිනෙලවා මා වටේ
හරි ඒවා අල්ලන්නේ
කොහොමදැයි නොතේරේ
ධන වෙනවා ඍණ වෙනවා
ගුණ වීලා බෙදෙනවා
වර්ගඵල පරිමාව
ධරිතා සොයනවා
පැය තුනම ඉවරයි
ලියපු කොල මට දෙන්න
ටීචර් කියනවා ඇහිලා
කොලෙන් කොලේ ඇමිණුවා
නමයි පන්තිය අනු අංකයත්
සමඟ විෂයේ නම ලියා ඇති
හිස් ම හිස් පිටු ටිකක්
මගෙ නමින් වෙන් වෙලා..

Post Comment

Here I am..

Lovely moon is filling the world with light
shinning stars are giving beauty to the night
to get moon's love, flowers having a fight
but here I am in a dark world, no-one in my sight

sky is never be alone till the sun comes there
gardens never be alone till the flowers bloom in there
world is never be alone till man is living in there
but here I am, suffering in loneliness like nobody is there

All the time people roaming around me
all the time people watching me cry
all the time people passing over me
but here I am, all alone, god might not know me

Post Comment

හිමි අහිමි

සිහිනය කොතරම් සුන්දර වූවත්
සෑබැ වුවොත් සිහිනයක් නොවේ
ආලය කොතරම් හදෙහි වූවත්
හිමි වීමම ආදයර නොවේ..

Post Comment

Sunday, October 2, 2011

මහේශ් අයියා කියලා දුන්න අන්තිම පාඩම..

ජීවිතේ හරිම කෙටියි යාළුවනේ. මේ ජීවිතේ අඬ අඬා විදවන්න කාලයක් නෑ. ගිය සෙනසුරාදාත් අපිත් එක්ක හිටපු මහේශ් අයියා අද අපිව දලා ගිහින්. දවසකට දෙකකට නෙවෙයි.සදහටම..
ඒත් මහේශ් අයියා හැමදාම වගේ අවසන් ගමන් ගියෙත් ජීවිතේ ගැන ලොකු පාඩමක් කියලා දීලා. එයා වසර 9ක් තිස්සේ අවංක ව ආදරේ කරපු ගෑණු ළමයා එයාව දාලා ගිහින් තිබුණා.ඒක නිසා එයා වින්ඳ වේදනාව හරියටම දැන ගෙන හිටියේ එයාව ලඟින් ම ඇසුරු කරපු අය විතරයි. ඒත් හදිස්සියේ ම එයා ඒ හැමදේම දාලා යන්න ගියා. අන්තිමට එයා ලඟ ඉතුරු වුණේ එයාට ඇත්තටම ආදරේ කරපු එයාගේ අම්මා තාත්තා සහ යාළුවෝ ටික විතරයි. 
ජීවිතේ අඬ අඬා ඉන්න කාලයක් නෑ කියලා මං කිව්වේ ඒ නිසා.. ලස්සන ජීවිතයක් තිබුණ මහේශ් අයියා අන්තිමට ඇස් දෙක පියා ගත්තේ වේදනාවෙන්.. ජීවිතේ හරිම කෙටියි.. ඒකෙන් බාගයක් අඬන්න තියා ගත්තොත් ඉතුරු බාගේ අපි ඉදිවිද කියලා කවුරුවත් දන්නේ නෑ..ජීවිතේ අද දවස විඳින්න.. විදවන්න එපා.. මම මේතරම් දවස් ජීවිතේ විඳෙව්වා..ඒත් ඇත්තටම අපේ ජීවිත මේ විදිහට විඳවන්න ඕනේ නෑ නේද කියලා මට හිතුණා.. ඇත්ත..අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා.. ඒත් ඒ ප්‍රශ්න මත්තේම ජීවිතේ තීරණය වෙන්න දීල අපි අද දවස අඬ අඬා හිටියොත් හෙට හිනා වෙන්න අපි ඉඳීද දන්නෙ නෑ..
හිනා වෙන එක හෙටට බාර දෙන්න එපා යාළුවනේ.. හෙට එන ප්‍රශ්න ගැන හිතලා අද හිනාව නැති කරගන්නත් එපා.. 
සමහර මම දන්න යාළුවෝ දෙන්න දෙන්නාට ආදරේ උනාට කියන්නේ නැතුව දුක් විඳිනවා.. ඒ අම්මලා තාත්තලා ප්‍රශ්න ඇති කරයි කියලා හිතා ගෙන.. ඒ ප්‍රශ්න අවාම ඒවාට මූණ දෙන්න යාළු.. අපි ඒදාට ඉඳීද කියලා අපිවත් දන්නෙ නැනේ.. ඒ නිසා අද ආදරේ කරලා..හිනා වෙලා සතුටින් ඉන්න.. මමත් කාලයක් නොලැබෙන ආදරයකට ඇඬුවා.. ඒත් දැන් නොලැබෙන ආදරයකට අඬනවාට වඩා මේ ජීවිතෙන් කරන්න පුළුවන් දෙවල් ගොඩක් තියෙනවා කියලා මට තේරෙනවා.. ජීවිතේ ජීවත් වෙන්න.. හෙට නෙවේ.. අද ජීවත් වෙන්න.. "කල් හෝ නා හෝ" කියලා අපි හැමෝම ආසවෙන් රස විදපු චිත්‍රපටයේ පෙන්නවන දේ මායා සිහින ෆිල්ම් ස්ටොරියක්ම නෙවේ.. අපේ ජීවිතත් හදිස්සියේ ඒ විදිහට ගසා ගෙන යන්න පුළුවන්.. ඒ නිසා අද දවස විඳින්න.. හෙට දවස ගෙන හෙට හිතන්න.. ඒ මොකද හෙටක් තියෙද නැද්ද කියලා වත් අපි දන්නෙ නැති නිසා..


Post Comment