Monday, July 30, 2012

වසා ගන් දොර මගේ හිමියෙනි...



අහස ගුගුරා.. අකුණු පුපුරා..
මගේ හිත වැන්දඹු වුනා...
වසා ගන් දොර මගේ හිමියනි
නුඹට රිසි නම් යන්නට යන්නෙමි....


"හරිම ලස්සන සින්දුවක් නේ?"
නිමාලි රේඩියෝවේ සද්දේ තව ටිකක් වැඩි කරන ගමන් ඇහුව්වා..
"ඇත්ත අනේ.. මමත් ඕක ටීවි එකේ ටෙලිඩ්‍රාමා එකක යනවා ඇහුව්වා.."
"නන්දා මාලිනිගේ කටහඬට ඒක හොඳට මැච්වෙනවා නේ.."


ස්ටාෆ් රූම් එකේ අනිත් කට්ටිය නිමාලි කියපු දේට එකඟ වුනේ එයලාගේ අදහසුත් කියන ගමන්..


"මොකෝ සංගීත හා සින්දු පිළිබඳ මහාචාර්යවරියගෙන් කිසිම අදහසක් නැත්තේ?? ඇයි සින්දුව හොඳ නැද්ද??" පාලිත එහෙම ඇහුව්වේ මම කිසිම දෙයක් නොකියා ඔහේ බලාගෙන හිටපු නිසා වෙන්නැති.. වෙනදාට සින්දු ගැන කතාවක් නම් මුලින්ම කියවන්න පටන් ගන්නේ මම කියලා එයලා හැමෝම දන්නවා..


"'ඒක තමා මමත් මේ බැලුවේ.. මොකෝ මනීශා සින්දුව අල්ලන්නේ නැද්ද??" නිමාලිත් මගේ දිහා බලාගෙන ඇහුව්වා.
"නැ අනේ මම ඔය සින්දුව කලින් අහලා නෑ.. ඒකයි.. මම මේ ටිකක් වෙලා අහගෙන හිටියා.. මුකුත් කියන්න කලින් සින්දුව අහලා ඉන්න එපැයි.." මම කට්ටියගේ ඇස් මඟ අරින ගමන් කිව්වා.


"ඇහ්..ඒක පුදුමෙනුත් පුදුමයි නේ.. ඔයා අහලා නැති සින්දුත් තියෙනවද.."පාලිත හිනා වෙනවා..


හීන් හිනාවක් මූනට අලවගෙන මම බෑග් එකත් අරන් නැගිට්ටා.. "සමහර ඒවා ඉතින් අහලා නෑ.. මන් යනවා ලයිබ්‍රරි එකට.. ගත්ත පොතක් තියෙනවා රිටන් කරන්න.. නැත්නම් කුසුමා මිස් ආයේ කම්ප්ලේන් කරයි ටීචර්ලා පොත් අරන් භාර දෙන්නේ නැ කියලා.."
එහෙම කියාගෙනම ස්ටාෆ් රූම් එකෙන් එළියට ආවට ඇත්තටම භාර දෙන්න පොතක් මගේ අතේ තිබුනේ නැ.. ඒත් කෝකටත් එක්ක මම ලයිබ්‍රරි එකටම යනවා.. අයිනකට වෙලා පොතක් වත් බැලුවොත් ඊළඟ පීරියඩ් එකට කලින් කලබල වෙලා තියෙන මගේ හිත සන්සුන් කරග්න්න පුළුවන් වෙයි කියලා මම හිතුවා.


"තමුසේට මේ ගෙදර ඉන්න බැරි නම් බැහැලා යනවා යන්න.. මට පව් නොදී.." 
කුශාන්ගේ කටහඬ තාමත් මගේ කන් ඇතුලේ දොංකාරය දෙනවා. හරියට ඒක ඊයේ වුනු දෙයක් වගේ. මට කුශාන්ව හම්බුවුනේ කැම්පස් එකේදී. ඒත් අපි දෙන්න ගොඩාක් කල් ආශ්‍රය කලේ යාලුවෝ වගේ.අවුරුදු තුනක්ම යාලුවෝ වගේ ඉඳලත් ඕකාව හරියට අඳුරගන්න බැරි වුනාද කියලා සඳු අහන කොට නම් මම මගේ මුලු ජීවිතේම රැවටිලා ඉඳලා නේද කියලා හිතුනා..ඒත් මේක එයාගේ වැරද්දක් විතරක්ම නෙවියිනේ.මමත් මේකට වගකියන්න ඕනේ.හැමදාම වගේ අදත් මගේ හිත එයාව සුද්ද කරනවා. මන් හැමදාමත් කලේ ඒක.එයාගේ වැරදි දාහක් පෙනෙද්දිත් එයාව සුද්ද කර කර ලඟට වෙලා හිටියා.ඒත් එයාට මගේ එක වැරැද්දක් ඉවසන්න බැරි වුනා. 


කැම්පස් එකෙන් අවුට් වෙන දවසේ මාර ගහ යටදී "මට ඔයා නැතුව ඉන්න බෑ මනීශා..මන් ඔයාට ආදරේ කරනවා" කියාලා මාව බදාගෙන සිපගනිද්දී මම කවදාවත් හිතුවේ නෑ ඔයට මන් නැතුව ඉන්න පුළුවන් වෙයි කියලා.ඒත් අනේ මන්දා.දෛවය කියන්නේ අපිට හිතන දේම නෙවෙයිනේ. එහෙම ඉන්න බැ කියපු ඔයා දැන අවුරුදු දෙකක් තිස්සේ මගේ මූනවත් බලන්නේ නැතුව ඉන්නවා.


මන් දන්නවා ඔයාගේ අම්මලා විතරක් නෙවෙයි අපේ අම්මලාත් පුංචි පැටියෙක් අපේ පවුලට එනකන් ඇඟිලි ගැන ගැන හිටියා..එයලා විතරක් නෙවෙයි දෙයියනේ මමත් කවදාහරි අම්මා කෙනෙක් වෙන්න බලාගෙන හිටියා.ඔයාගේ ලෙයින් හැදිච්ච පුංචි පැටියෙක්ව මගේ උකුලේ තියාගෙන නළවන්න මමත් ආසාවෙන් හිටියා.


ඒත් ඒ හැමදෙයක්ම අපි හිතුවේ වත් නැති විදිහට අපිට නැති වුනා. හොඳට හිටපු අපි දෙන්නා රංඩු කරන්න පටන් ගත්තා.ඒ හැමවෙලාකම මම වැරදිකාරි වුනා.ඔයා ඔෆිස් එකේ ගෑනියෙක් එක්ක එහෙ මෙහෙ යනවා කියලා දැන දැනත් මම කට පියාගෙන හිටියා.


ඒත් මම එහෙම හැමදේම ඉවසගෙන හිතේ හිර කරගෙන හිටිය පීඩනය මන් හිතුවේ වත් නැති පැත්තකින් එළියට ආවා. සත්තයි කුශාන් මම ඔයාව රවට්ටන්න හිතුවේ නෑ කවදාවත්ම.ඒත් ඔයාගෙන් නොලැබෙන ආදරේ සහන්ගෙන් ලැබෙන කොට මන් එයාට ලන් වුනා. ඔයාගේ උණුසුම් හැර වෙන උණුසුමක් ගැන හීනෙකින්වත් හිතුවේ නැති මම, මටත් හොරා සහන්ගේ උණුසුමට තුරුල් වුනා. ඒත් ඒ එකම එක දවසකට විතරයි.එදයින් පස්සේ මම මොන තරම් වැරදිකාරියෙක්ද කියලා මගේ හිත මට දොස් කිව්වා.


මම හිතුවේ ආයේ ඔයා එක්ක ජීවිතේ අලුතින් පටන් ගන්න පුළුවන් වෙයි කියලා. ඒත් මන් නොහිතපු විදිහට මෙච්චර කල් වඳ ගෑනි කියලා හංවඩු ගහපු මම වඳ නෑ කියලා දැන ගත්තා. 


මම ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තාම ඔයා මන් දිහා සැකෙන් වගේ බැලුවේ ඔයා දැනගෙන හිටියා නේද වැරද්ද මගේ නෙවෙයි ඔයාගේ කියලා? ඒත් ඔයාගේ නෑදෑයෝ මට වඳයි කියලා බනිනකොට මන් වෙනුවෙන් එක වචනයක් වත් කතාකරන්න ඔයාට බැරි වුනා කුශාන්.


ඕකාගේ තාත්තා කවුද කියලා කෑගහලා අහනකොට මට අහන් ඕනේ වුනේ "ඇයි ඔයා වෙන්න බැරිද" කියලා.. 


ඒත් ඒකත් හිතේ හිර කරගෙන මම ඔයාගේ පස්සෙන් ගෑටුවේ මගේ කුසට නොදන්වා ආපු ඒ පුංචි ආත්මය තලලා පොඩි කරලා දාන්න. 


ඔයාට ඕනේ විදිහට ඒකත් කලාට පස්සේ මන් වනචර ගෑනියෙක් කියලා බැන්නට අමතක වුනාද ඔයාට, ඔයා ඔෆිස් එකේ නිරාශා එක්ක බිස්නස් ට්‍රිප් ගිය හැටි? ඒවා මම දැන ගත්තාම මගේ ඉස්සරහා දණින් වැටිලා ආයේ එහෙම වෙන්නෙ නෑ මගේ මැණික කියලා අඬපු හැටි? ඒත් ආයෙත් ඒ වැරැද්දම කරපු හැටි? 


යි යාට වා මතක නැති වුනේ? 


කොහොම වුනත් මම ගෙදරින් එළියට බැස්සේ ඔයාට ආදරේ නැතුව නෙවෙයි.ඒත් අපි දෙන්නා තව දුරටත් එක වහළක් යට ඉන්න එක තේරුමක් නැති නිසා.


මන් ආයේ එහෙම කරන්නේ නෑ කියලා ඔයාගේ දෙපතුල් අල්ලලා වඳිනකොට කකුලෙන් ගැහුව්වේ මොන හිතකින්ද කුශාන්? ඔයා ඔයාගේ ලෝකේ තනිවෙලා. මන් කරපු වැරැද්ද ඔයා නිදහසට කාරණාවක් කරගත්තා. පිරිමි ලන්වෙන්න ආවත් මට ආයේ ආදරේ කරන්න බෑ කුශාන්.. සහන්ට ලන් වුනාට මන් එයාට ආදරේ කරල නෑ කියලා මම දැනගත්තා..ඒත් ඔයා?? ඔයා මට ඇරෙන්න වෙන හැම ගෑනියෙක්ටම ආදරේ කරලා..ඒ නිසානේ මම මෙහෙම දුක් විඳිනකොටත් ඔයාට ගාණක් වත් නැත්තේ.. 



අවුරුදු දෙකක් හිත අතීතයට ගියා. මගේ ජීවිතේ වැරදිලා ඉවරයි..ඒත් මට තරහක් නැ කුශාන්.. ඔයා සතුටින් නම් ඒ මට හොඳටම ඇති.. කඩා වැටිච්ච හිත හදාගෙන මම ඉඳගෙන හිටිය තැනින් නැගිට්ටේ පන්තියට යන්න බලාගෙන..


ආලයක් නැති.. තාලයක් නැති
විජිතයේ කටු ඔටුනු හැරයමි..
කාලයක් අපි ආදරෙන් සිටි
සොඳුරු මතකය අරන් යන්නෙමි..


වසා ගන් දොර මගේ හිමියෙනි
නුඹට රිසි නම් යන්නට යන්නෙමි..


බැන්ද රන් දම්..මගේ ගෙළ වට
මුදා විසිකොට..අඬන අහසට
මගේ සිහිනයේ නුඹ නිදන් කොට
කුරුටු ගී දහසක් ලියන්නෙමි


වසා ගන් දොර..මගේ හිමියෙනි
නුඹ රිසි නම් යන්නට යන්නෙමි...

Post Comment

20 comments:

  1. කාන්තාවක් පත්වෙන්න පුලුවන් ලොකුම අසරණ තත්වයක් ගැන නොවැ කියලා තියෙන්නේ. කතාව බොහොම සංවේදී විදිහට ගලපලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි හසිත.. මේ සින්දුව අහගෙන ඉන්නකොට හිතට ආපු සිතුවිල්ලක් තමා මෙහෙම ලිව්වේ.. :)

      Delete
  2. ගොඩක්ම ආස කරන සංවේදී ගීතයකට ලියවුන අපූරු වගේම ගීතය තරම්ම සංවේදී කතාවක්......

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි යාළු.. :)

      Delete
  3. කාලෙකින්... ඔක්කොම කියෙව්වා..

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම කියෙව්වා නම් ඔයා හොඳ ළමයෙක්..හිහ් හිහ්.. තැන්කූ පසන්.. කාලෙකින් තමා බ්ලොග් එක ලියන්න ගත්තේ.. :)

      Delete
  4. ගොඩක් සංවේදී කතාවක් . බොහෝ විට සමාජයේ සිද්දවෙන එකක් . අපි නොදැන ගත්තට......

    ReplyDelete
    Replies
    1. සමාජය ඇතුලේ අපි නොදන්න ගොඩාක් දේවල් වෙනවා මානවක.. :) තැන්කූ කොමෙන්ටුවට.

      Delete
  5. මේක නම් මාරයි යාළු........අකුරක් අකුරක් ගානේ හිතට දැනුනා......

    ReplyDelete
    Replies
    1. තැන්කූ හිරු.. නිර්මාණය ඒ තරමට සාර්ථකයි කියලා දැනෙනකොට හිතට පුදුම සතුටුයි යාලු..:)

      Delete
    2. අනිවාරෙන්ම ඔබ සාර්ථකයි! :)

      Delete
  6. හිතන්නට බොහේ දේ ඇත ලස්සනයි යාලු

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සචිත්.. :)

      Delete
  7. හරිම ස්ංවේදී‍යී රෙඩ්!!!! ලස්සනයි!!!

    ආලයක් නැති.. තාලයක් නැති
    විජිතයේ කටු ඔටුනු හැරයමි..
    කාලයක් අපි ආදරෙන් සිටි
    සොඳුරු මතකය අරන් යන්නෙමි..

    හ්ම්ම්ම්.. මතකයන් විතරයි ඉතින් ඉතුරු වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත..සමහර වෙලාවට ඒ මතකයන් අපිව නැගිටින්න බැරි වෙන විදිහට බිමට ඇදලා දානවා..ඒත් ඒ මතකයන් මැඩගෙන නැගිටින්න වෙනවා.. තැන්කු හිතූ..:)

      Delete
  8. සින්දුව මං අහල නෑ...කතාව සංවේදියි. හැඟීම්බරයි , ඩබල් ආර් එච්!. කෙනෙක් වැරදි කාරයෙක් කියල කෙලින්ම ඇඟිල්ල දික් කරන්න කලින් පොඩ්ඩක් හිතල බැලුවනම් ප්‍රශ්න ඔය තරම් දුර දිග යන්නේ නෑ. තමන්ගේ ඇහේ පොල් පරාලේ තියාගෙන අනුන්ගේ පොල් කෙන්ද හොයන්න ගියාම නැති ප්‍රශ්න ඇති වෙනවා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත පැතුම්.. ම්ම්ම්.. සමහරවෙලාවට අපි අනුන්ගේ වැරදි හොයනවා විතරයි.. තමන් ගේ අඩුපාඩු හදාගන්න බලන්නේ නැ..අනික ඕනේම කෙනෙක්ට දෙවෙනි වතාවක් දෙන්න ඕනේ ජීවිතේ හදාගන්න.. තැන්කූ මේ පැත්තේ ආවට.. පළවෙනි සැරේ නේ.. :D

      Delete
  9. හොදට ගලාගෙන යන්න ලියල නම් තියෙනවා.... අන්තර්ගතේ ගැන අදහස් දක්වන්න මං තාම පොඩි වැඩියි :P :P :P :)

    ~Åñúhäs~

    ReplyDelete
    Replies
    1. හික්ස්.. අනේ ඔයාගේ පොඩි..:p හෙහ් හෙහ්.. තැන්කූ කමෙන්ට් එකට අනූ.:)

      Delete
    2. හි හී....... හ්ම් හ්ම්ම්....... මං පොඩියි තමයි.... :P

      Delete

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]