අම්මෝ.. පෙනේද අරකී නිකන් පත්තිනි අම්මා වගේ... සුදට සුදේ ඇඳල..පුහ්.."
ඈතින් එන සඳමාලිව දැක්ක සූධී විහිලුවෙන් වගේ කිව්වා. අපේ සෙට් එකම හැරිලා බැලුවේ මොකක්ද මේ සූධී කියන "පත්තිනි අම්මා" ලුක් එක කියලා.
"මොන පත්තිනි අම්මද බන්.. ගල් දෙකත් එළියේ දාගෙන.." අමා අවඥාවෙන් වගේ කීවා. සුදු පාට කොට සායකින් හා සුදු පාට ටී ෂර්ට් එකකින් සඳා ඇඟ වහගෙන ගිටියා. ඇඟ වහගෙන කියලා තමා එයාගේ ඇඳුම් වලට කියන්න වෙන්නේ ගොඩාක් දවසට.
"උඹලාට මොකද බන් ඒකී කොහොම ඇඳත්? හරියට මුන්ගේ ගල් එළියේ වගේනේ කෑ ගහන්නේ.." සහන් ඉතින් කොහොමත් සඳගේ පැත්තට තමා හැමදාම.
සඳා ලස්සනයි. ඇහට කනට පේන කෙල්ලෙක්. ඒත් අවුල තියෙන්නේ එයා වෙලාවකට ඕනේවටත් වඩා පෙන්නවා.
සඳා කියන්නේ කොහොමත් කැම්පස් එකේ හොඳම ටොපික් එකක්. කොයි සෙට් එකෙත් ඒ ගැන කතා නොකරන කෙනෙක් නැ. සඳ අඳින ඇඳුම්.. සඳාගේ ඉණේයි පිටෙයි තියෙන පච්ච.. සඳාගේ වටේ ඉන්න කොල්ලෝ.. කෙල්ලො කොල්ලො වෙනසක් නැතුව මේවා ගැන කතා වෙනවා.. සඳාත් ඒක දන්නවා. ඒත් එච්චර ගානක් නැ.
"ම්ම්ම්...අනේ සංසාරේ කිව්වාලු..උඹලා ඉතින් කොහොමත් ඒකීගේ ඇඹරිල්ලට අහුවෙනවානේ.." මෙච්චර වෙලා කට වහගෙන හිටපු මල්කීත් කට ඇරියා.
අපේ සෙට් එකේ කෙල්ලො හතරදෙනයි කොල්ලෝ තුන්දෙනයි හැමදාම වලි දාගන්න ටොපික් එක තමා සඳා කියන්නේ. සහන් සඳගේ පැත්තේ.. ටිරාන් සඳාට විරුද්ධ පැත්තේ.. ලෝකිත දෙපැත්තටම නැ.. එතකොට සූධීයයි අමායි නම් තදබල ලෙස "සඳා විරෝධීන්".. මමයි මල්කීයි මධ්යස්තයි. ඔහොම තමා කට්ටිය බෙදෙන්නේ.
"අනේ මේ උඹලා මේ මාව ගාවන්න එපා ඔය වේ* එක්ක..හොඳේ.. මට පෙන්නන බෑ ඕකියේ ඇඹරිල්ල.." ටිරාන් බෙරිහන් දෙන්න ගත්තා.
"මොකෝ සුභා සද්දයක් නැත්තේ?" සහන්ට ඕනේ මාව සඳාගේ පැත්තට කතා කරවන්න.
"සද්ද නෑනේ අපි ගාව කොහොමත්..වැඩ විතරයි මල්ලි.." මම හෙමිට කතාව මඟ අරින්න හැදුවා.
"මේ අහපන් සහනයෝ.. තෝ ඔය ඕකී එක්ක නටන්න ලෑස්ති වෙන්න එපා.. ඕකීට දැන කොල්ලෝම නම් කියලා කී දෙනෙක්ද.." ටිරාන්ගේ සුපුරුදු දේශනාව.
"නෑ බන්.. මේකයි..ඒ කෙල්ලට තාම ඇත්තට ආදරේ කරන කෙනෙක් සෙට් වෙලා නැ බන්..ඒකයි ඒකී ඔහොම නටන්නේ.."
සහන් හැමදාම කියන්නේ සඳාට ලං වෙන කොල්ලෝ බලන්නේ එයා එක්ක බුදිය ගන්න විතරයි කියලා. එයාට ඇත්තටම ආදරේ කරන කොල්ලෙක් ජීවිතේට ලං වෙච්ච දවසට එයා හැදෙයි ලු..
සඳාගේ ජීවිතේ නූල කැඩිච්ච සරුංගලයක් වගේ. එහෙම තමා මට හිතෙන්නේ. එක දවසකට එක කොල්ලෙක්..ආයේ වෙන එකෙක්.. "අර උඹේ කොල්ලද බන්?" දවසක් කාර් එකකින් සඳාව බස්සලා ගිය ලස්සන කොල්ලෙක් දැකලා මන් ඇහුව්වා. "කොල්ලා.. පිස්සුද බන්.. ඌට කෙල්ලෙක් ඉන්නවා.." සඳා හයියෙන් හිනා වෙලා කිව්වා. ඉතින් උඹ ඌ එක්ක රවුන් ගහන්නේ ඇයි බන්?" මම රවුම් ගහන්නේ නැ සුභා..ඌ එනවා මාව හොයාගෙන.. එකම කෙල්ල එක්ක ඉඳලා කම්මැලි ඇති.." එක ඇහක් වහලා ඉඟි මරන ගමන් කිව්වා. එයාගේ ජීවිතේ හංගන්න හදන්නේත් නැ.. කවුරු හරි මොනා හරි කිව්වොත් "ඇයි උඹලට මොකද" කියලා අහන සයිස් එකට ඒකීට හිතේ හයියක් තියෙනවා. වෙලාවකට සහන් කියන කතාවත් ඇත්ත කියලත් හිතෙන්වා. ඇත්තටම ආදරේ කරන එකෙක් හම්බු වුනොත් එයාගේ ඔය සෙල්ලක්කාර ගති නැති වෙයි.
"අනේ මේ.. ඒවායින් කමක් නැ.. උඹ එහෙම ලෑස්ති වෙන්න එපා ඔය උම්රාඕ ජාන් ව භාර ගන්න." සූධීට සහන් එක්ක කේන්තියි.
"අපොයි මම නම් කීය දුන්නත් ඕකී එක්ක නම් ඉන්නේ නැ.."
"කොහොමත් ඒකී උඹ ගාවට එන්නේ නැ.. ඔය බතල ඇඟ දැක්කාම කෙල්ලෙක් එයිද බන්.." සහනුයි ටිරානුයි සුපුරුදු වලිය. "හරි ඉතින් උඹ හිතන් ඉන්නේ උඹට රිතික් රොශන්ට වගේ බිල්ඩ් එකක් තියෙනවා කියලානේ..අනේ පල ගෙම්බො යන්න.."
"මන් රිතික් රොශන් වගේ නොවුනත් මට හයිට් එකයි බිල්ඩ් එකයි තියෙනවා තමා හිවලෝ.."
අනේ නවත්තපල්ලකෝ බන්.. හැමදාම සඳා ආවොත් උඹලා ඉවර වෙන්නේ ඔතනින්.." මෙච්චර වෙලා මුකුත් ම නොකියා හැමදේම අහගෙන බලාගෙන හිටපු ලෝකිත කිව්වා.
"අනේ මන්දා ලෝකිත.. මුන් දෙන්නටම පිස්සු.. නැත්නම්.."
"උන්ට විතරක් නෙවෙයි උඹලත් පිස්සු බන්.. " අමා කියාගෙන් ආපු දේ හරස් කරලා ලෝකිත හයියෙන් කිව්වා. ලෝකිතට කේන්ති යන්නේ නැ. අපි ඔක්කෝම ඇස් ලොකු කරගෙන බැලුවා.
"ඔව්..උඹලා ඔක්කෝමට පිස්සු..උඹලට විතරක් නෙවෙයි මේකෙ ඉන්න හැම එකාටම පිස්සු. සඳා සඳා සඳා.. ඒ ඇරෙන්න උඹලට කතා කරන්න දෙයක් නැ. පින් දීපන් ඒ කෙල්ලට ඒකී උඹල කතා කරන්න දෙයක් හදලා දෙනවා.."ලෝකිත නැවතිල්ලක් නැතුවම කියවගෙන යනවා.
"ආහ් මෙච්චර කල් ඒකීගේ මායාවෙන් බේරිලා හිටපු උඹත් ඒකීට වශී වුනාද බන්?" සූධී උපහාසයෙන් ඇහුව්වා.
"මන් වශී වෙච්ච මගුලක් නෑ සූධී.. උඹලට තියෙන්නේ ඉරිසියාව. උඹට කොටට අඳින්න ආසයි.. උඹ ඒක දවසක් කිව්වා.ඒත් උඹලගේ සාම්ප්රදායික අම්මල උඹට එහම් අඳින්න දෙන්නේ නැ.. උඹ ඒකට කියන්නේ අපේ අම්මලා නම් අපිව ඔහොම හැදුවේ නැ කියලා.. පිලිගනිනි සූධී උඹට සඳාට වගේ නිදහස තිබ්බා නම් උඹත් ඔහොම තම..
අනිත් කෙනා උඹ අමා. උඹට හැමදාම සුදු වෙන්න කියලා රටේ නැති ඒවා මුණේ උලනවා.. කුරුලෑ අඩු වෙන්න කියලා ඔක්කෝම එලවළු ටික මූණේ තියාගන්නවා.එහෙම කරලත් උඹ තරහයි උඹට සඳා වගේ ලස්සන වෙන්න බැරි එකට.."ලෝකිත පේලියට අඟිල්ල දික් කරගෙන කියනවා.
"සහන් උඹට ඔය කියන මහ ලොකු ආදරයක් නැ.. අවුල තියෙන්නේ උඹේ ප්රතිපත්ති එක්ක උඹ එහෙම කෙල්ලෝ එක්ක නිදාගන්නෙ නැ. ඒකයි උඹ ඔය ආදරේ ඉස්සරහට දාගෙන වැඩේ කරගන්න හදන්නේ..සඳා ඒක දන්නවා. ඒ නිසා තමා උඹ එක්ක යාළු වෙන්නෙ නැත්තේ. ඒකීට කොල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්න බැ කියලා ඒකීම දවසක් කිව්වා.
"අනික උඹත් ටිරාන්..මතක පළවෙනිම දවසේ උඹ ඒකීම දැක්කාම ආසාවේ බෑ කිව්වා. ඒත් දැන් උඹ දන්නවා ඒකී උඹට මලාට කැමති වෙන්නේ නැ කියල.."ටිරාන් හොරෙන් බිම බලාගත්තා. මල්කීයි මමයි බය වෙලා හිටියේ අපිට මොනවා කියයිද කියලා.
"උඹලා දෙන්නා නම් ඒ තරම් කෑ නොගැහුව්වත් එදා සඳාගේ ඉණේයි පිටෙයි සමනල්ලු වහලා කියලා නම් උඩ පැන පැන හිටියා නේ?.. පිලිගනින් සුභා.. උඹව මන් ඉස්කෝලේ යන කාලේ ඉඳන් දන්නවා..උඹට ඕනේ තරුවක් උඹේ පිටේ කොටාගන්න. ඒත් උඹට ඒකට හයියක් නැ.. ඕක තමා උඹලට වෙලා තියෙන්නේ.. උඹලා ඒකේගේ ඒ ජීවිතේට ඉරිසියායි... ඒක දිහා බලාගෙන හූල්ලනවා.. අනේ අපිට බැරි මොකෝ කියලා..උඹලා කිව්වා හරි..ඒකී නූල කැඩිච්ච සරුංගලයක්.. ඒත් අපිත් සරුංගල්.. වෙනස තියෙන්නේ අපි තාම කොහෙට හරි ගැටහලා.. "
කටහඬේ කිසිම ආවේගයක් නැතුව... හෙමිට ලෝකිත කිව්ව දේවල් අපේ ඔලු වලට වෙඩි තිබ්බා වගේ දැනුනා.. කට්ටියම කිසිම හාවක් හූවක් නැතුව ඔහේ බලාගෙන හිටියා..
"ඇත්තටම අපි ඉරිසියයිද බන්?" සූධීගේ කටහඬ ඈතින් වගේ මට ඇහෙනවා..මොකක්ද මන් කියන්නේ? මගේ යටි හිත නම් හරියටම උත්තරේ දන්නවා..