Showing posts with label පොත් චාරිකා. Show all posts
Showing posts with label පොත් චාරිකා. Show all posts

Sunday, August 12, 2012

පොත් ගන්න කලින් පෙර සූදානමක් - 2

මේ අර කලින් ලිස්ට් එකේ ඉතුරු කොටස.. ඒක බැලුවේ නැත්නම් ගිහින් බලන්නකෝ.

ඉන්දියානු හා බෙන්ගලි පරිවර්තන

12. මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක්, අපූගේ ලෝකය- මේ පොත් තුන එකම කතාවක කොටස් තුනක්. අපූර්වගේ ළමා කාලයේ සිට මැදිවිය දක්වා ජීවිත කතාව මෙයින් කියවෙනවා.. මේ පොත විශේශ වෙන්නේ අපූර්ව නිසාමයි.. අපූර්ව කියන්නේ එක්තරා විදිහක සංචාරකයෙක් කියන්න පුළුවන්..ජීවිතේ කොයිම වෙලාවක වත් එක තැනකට කොට වෙලා ඉන්න කැමති චරිතයක් නෙවෙයි. එයාට වැදගත් මුදල් වත් ගේ දොර ඉඩකඩම් නෙවෙයි. හිතේ නිදහස් හා සතුට. ඒ නිසා ජීවිතය අමුතු විදිහටකට විඳින මිනිහෙක්. චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි ගේ පරිවර්තනයක්.මේ පොත් හිතට වදින්න එක හේතුවක් විදිහට පරිවර්තිකාවගේ හැකියාවත් දක්වන්න පුළුවන්.

13. අරණකට පෙම් බැඳ-  මේකත් චින්තා සිංහ ආරච්චිගේ පරිවර්තනයක්. අපි හැමදාම කියවන්නේ මිනිසෙක් කාන්තාවක් සමඟ පෙමින් බැඳුනු කතා..ඒත් මේ පොත කියවෙන්නේ සොබාදහම එක්ක පෙමින් බැඳුනු කතාවක්. මේක නම් අනිවාර්යයෙන්ම කියවන්න. සල්ලි වලට අරන් ලඟ තියාගත්තත් පාඩු නැ.මොක්ද හිත කලබල ඕනේ වෙලාවක මේ පොත කියෙව්වාම හිතට පුදුම නිදහසක් දැනෙනවා. විභුතීභූෂණ බන්දෝපාධ්‍ය නම් බංගලි කතුවරයාගේ පොතක්. [නම කිව්වා හරිද මන්දා..මතකෙන් ටයිප් කලේ.වැරදින් නම් නිවැරදි කරන්න.]

14. ගෝරා - රවීන්ද්‍රනාත් තාගෝර්ගේ නවකතාවක්. බොහොම අගේ ඇති පොතක්. මම මේක කියෙව්වේ මම 8 වසරේදි. ඒ කාලේ ඒ තරම් ම ඒ කතාව තේරුනේ නැ. මේ කතාව දේශපාලනය, හින්දු සමාජ ක්‍රමය හා මිනිස් හැඟිම් ගැන කෙරෙන බුද්ධිමත් සංවාද වලින් යුක්තය. ගෝරා තාගොර්ගේ විශිෂ්ඨතම කෘතියක් ලෙස සැලකෙනවා.
මේ පින්තුරේ නම් ගත්තේ බුකියේ "පොත් කියවන අය" ගෲප් එකෙන්.

15. ඉංග්‍රිසී ගුරුවරයා - ආර්.කේ.නාරායන්ගේ The English Teacher පොතේ පරිවර්තනය. තම බිරිඳගේ අකල් නික්මයාමෙන් පසු දරුවා සමඟ ගෙවන ජීවිතයත්..එසේම බිරිඳ මිය ගියද ඇය සෙවීම නතර නොකල මිනිසෙක් ගැන තමා මේ කතාවේ කියවෙන්නේ. අපූරු කතාවක්.

16. හලෝ හලෝ- චේතාන් භගත් ගේ ..පොතේ සිංහල පරිවර්තනය. කතාව තරමක වෙනස් එකක්. ඒ වගේම තමා සිංහල පරිවර්තනයේ රචනා ශෛලිය ගොඩාක් වෙනස්. බොහෝ දුරට කටවහරට සමාන ශෛලියක් තමා තියෙන්නේ. කෝල් සෙන්ටර් එකක වැඩ කරන තරුණ කණ්ඩායමක එක රැයක් තමා පොතින් කියවෙන්නේ. ඒ රැය එයාලගේ ජීවිතය වෙනස් කරපු රාත්‍රියක්. පොත ගන්න කලින් චුට්ටක් කියවලා බලන්න. කතාව ලස්සනයි.වෙනස් කතාවක්.


දැන් කියන්න යන්නේ මේ ලඟදී මම කියවපු සිංහල නවකතා කිහිපයක් ගැන.

17. ගමනක මුල නවකතා පෙළ- ගුණදාස අමරසේකරයන්ගේ නවකතා පෙලක්. මෙහි පොත් 7ක් තියෙනවා. ගමනක් මුල, ගම් දොරින් එළියට, ඉණි මඟේ ඉහළට, වංකගිරියක, යළි මඟ වෙත, දුරු රටක දුකට කිරියක, ගමනක් මැද. මේ කතාවේ කියවෙන්නේ 70-77 කාලයේ දේශපාලන, සමාජ බලවේග ගැන.

18. විලාසිනයක්ගේ ප්‍රේමය - සරත්චන්ද්‍ර මහත්තයාගේ පොතක් මේක. ජාතක කතාවක් පදනම් කරගෙන ඊට ජාතක කතාකරුට වඩා ගැඹුරු අපූරු විග්‍රයක් මේ කතාවෙන් දීලා තියෙනවා.
"ප්‍රේමය නම් අසෙණිය කුසුමක් වේ..
රිසි වූ කෙනෙකුට පූජා කරන්ට..
ලෝබ සිතින් තොර පිදුවමනා වේ..
පෙරළා ලබන්ට නොසිතා බිඳකුත්.."
මට මේ පොත ගන්න පෙළඹෙව්වේ ඔය පද පෙල.

19. කන්දක් සේමා- සුමිත්‍රා රාහුබද්ධගේ නවකතාවක්. දුප්පත්කම නිසා ජපන් ගොවියෙකු හා විවාහ වී සකුරා මල් දකින්නට ගොස් ගරා වැටුනු ගෙදරක තවත් එක් බිරිඳක් වූ ගැහැනියක්ගේ කතාවක්. මම මේ පොතට දෙන ටැග් ලයින් එක තමා ඒ..

20. මළගිය ඇත්තෝ හා මළවුන්ගේ අවුරුදුදා - සරත්චන්ද්‍රයන්ගේ තවත් අනර්ඝ නවකතා දෙකක්. ප්‍රේමයක්. දෙවොන්දරා සං හා නොරිකෝ සං. ආදරය හා විවාහය යනු දෙකකි. එකක් නොවේ. සිත් බැඳගත් නවකතා දෙකකි. මීට වඩා විස්තර කියා එහි ඇති අපූර්වත්වය නැති කිරිමට අදහස් නොකරමි. ඒත් කියවිය යුතුම පොත් දෙකකි.

21. අටවක පුත්තු - ලියනගේ අමරකීර්ති විසින් රචිත මේ පොත පහුගිය කාලේ ජ.වි.ප කොලාහල කාලය ලස්සනට විස්තර කර ඇත.

තව ඉංග්‍රිසි පොත් ලිස්ට් එකක් තියෙනවා.. ඒ ටික හෙට දාන්නම් හොඳේ.. ගිහින් එන්නම්.. ජය වේවා..

Post Comment

Saturday, August 11, 2012

පොත් ගන්න කලින් පෙර සූදානමක් - 1

ලබන මාසේ එන පොත් ප්‍රදර්ශනයට අපේ කට්ටිය ලෑස්ති වෙන්නේ ගිය අවුරුද්දෙ ඔක්තෝබර් වල ඉඳන් නේ...හා නැද්ද?? ඔන්න මම නම් එහෙමයි.. හික්ස්..ඒ නිසාම මම හිතුවා මම කියවලා තියෙන හොඳ පොත් කිහිපයක් ගැන කියන්න.. එතකොට ඉතින් පොත් කියවන්න  කැමති අයට තමන්ගේ පොත් ලිස්ට් එක හදාගන්න ඒක උදව් කරගන්නත් පුළුවන් නේ..
සමහර වෙලාවට අපිට පොත් ගන්න ගියාම එකපාරටම තෝරගන්න බැ.. ඒ නිසා ටිකක් වෙලා කියවලා බලන්න වෙනවා.. එකෙන් වෙන්නේ අපේ කාලයත් නාස්ති වෙනවා.. ඊට වඩා හොඳයි අපි හොඳ පොත් ටිකක් ගැන දැනගෙනම පොත් ගන්න යන එක.. ඒ නිසා තමා මම මේ ලිපිය දාන්න හිතුවේ... ඔයාලත් පුළුවන් ඔයාලා කියවලා තියෙනව හොඳ පොත් වල නම් කොමෙන්ටු විදිහට මේ ලිපියට යටින් දාන්න.. මොකද එතකොට ඒක මට වගේම මේ ලිපිය බලන්න එන අනිත් අයටත් වටින නිසා...

මම මුලින් ම බටහිර සාහිත්‍යයේ පරිවර්තන වලින් පටන් ගන්න හිතුවා.. 

1. ආගන්තුක රෝගියා - The English Patient කෘතියේ සිංහල පරිවර්තනය තමා මේ. Micheal Ondaatje නම් කතුවරයා ලාංකික සම්භවයක් තියෙන කැනඩා ජාතිකයෙක්. මේ පොත මම කියවලා ඉවර කලේ අද.[පොත් ගැන මීට වඩා ලොකු විස්තරයක් පස්සේ දාන්න තමා හිතාගෙන ඉන්නේ] යුද්ධයේ අතුරු කතාවක් කිව හැකි පොතක්. යුද්ධයේ තිබෙන නිසරු බව මනාව පෙන්වමින් ආදරය, මිත්‍රත්වය, කෝපය, ඉරිසියාව, සැකය..මේ සියල්ල කැටිකොට ගත් අපූරු කෘතියක්. [පරිවර්තක: කේ.ඒ.එන්.පෙරේරා]

2. සොෆීගේ ලෝකය - මේ පොත ගැන නම් මම කලින් විස්තරයක් ලිව්වානේ..මතක නැත්නම් ගිහින් බලන්නකෝ.....

3. ආදරණීය ගුරුතුමනි - Ricardo Braithwaite ගේ To sir with Love කෘතියේ සිංහල පරිවර්තනය. සමාජය විසින් බලාපොරොත්තු අත්හැර තිබූ තරුණ කණ්ඩායමකට යලි ජීවය පිඹින ගුරුවරයෙක් ගැන තමා මේ පොතේ තියෙන්නේ. සියලු දෙනාම අත්හැර දැමූ ජීවිත වලට යලි ආලෝකයක් ගේන්නේ මේ ගුරුතුමා.

4. මොන්ත ක්‍රිත්තෝ සිටුවරයා- Alexander Dumaගේ ඉතාමත් ජනප්‍රියම නවකතාවක් තමා මොන්ත ක්‍රිස්තො සිටුවරයා [The Count of Monte Cristo] කියන්නේ.මෙහි මුල් නවකතාව ප්‍රංශ බසින් ලියවුන්නක්.මෙහි සිංහල පරිවර්තනය වෙලුම් 6කින් යුක්තයි. අබිරහස් වලින් පිරි ලස්සන නවකතාවක්.

5.පුත්තු සහ පෙම්වත්තු - පෙරළිකාර නවකතා කලාවේ නවකතාකරුවෙකු වන D.H Lawrence විසින් රචිත මේ පොත [Sons and Lovers] මවක් හා පුතෙකු අතර උපතේ සිට මරණය තෙක් නොනැසී පවතින ඒ අරුම සම්බන්ධතාවය අලලා ලියැවුනක්.[පරිවර්තක: රත්නායක තිලකරත්න]

6. ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් පොත් පෙළ- මේක නම් ගොඩාක්ම සුදුසු පාසල් වියේ ඉන්න නංගිලා මල්ලිලාට.. හැබැයි ඉතින් මම මේ ළඟදිත් ආයෙමත් මුල ඉඳන්ම මේ පොත් සෙට් එක කියෙව්වා. ලෝරා කුඩා දැරිවියකගේ සිට මවක දක්වා යන ඇගේ ජීවිත චාරිකාව මේ පොත් පෙළෙන් කියවෙනවා. අපි කිසිදා නොඇසූ කෑමබීම, උත්සව සිද්ධීන් බහුලය.[පරිවර්තක: ගංගා නිරෝෂිණි සුදුවැලිකන්ද]

7. ජැමෙයිකා තානායම - Daphne Du Maurieගේ Jamaica Inn කෘතිය චන්දන මෙන්ඩිස් විසින් මෙලෙස සිංහලය නඟා තියෙනවා. මුහුදු මංකොල්ලකාරයන් කණ්ඩායමක් ගැන කියවෙන මේ පොත ත්‍රාසය භීතිය කුතුහලය කැටිකොට ගත් නිර්මාණයක්. ඔන්න ටිකක් ඇඩ්වෙන්චරස් දේවල් වලට කැමති නම් මේක තමා පොත.. :D


රුසියානු පරිවර්තන 

8.කටු ඔටුනු - Svetlana Alliluyeva ගේ Only One Year කෘතිය සුමිත්‍රා රාහුබද්ධ විසින් සිංහලට පරිවර්තනය කර තිබෙනවා. මේක දේශපාලන කෘතියක් නොවේ. නමුත් මෙහි කතුවරිය ජෝසප් ස්ටාලින්ගේ එකම දියණිය වීම නිසා දේශපාලනය මෙහි ගෑවිම නොවැලැක්විය හැකිව තිබේ.නමුත් මෙහි කතාවට ඇය රුසියාවේ පිටවී ඇමරිකාවේ ස්ථිර පදිංචියට පැමිණීම දක්වා ඇය ගෙවූ අවුරුද්දක කාල සීමාව පාදක වෙලා තියෙනවා. රුසියානු ජීවිතය ගැන උනන්දු නම් කියවලා බලන්න.


ඊට පස්සේ තෝරගත්තේ අපේ ගොඩ දෙනෙක් කියවන මුස්ලිම් කාන්තාවන් ගැන ලියැවුනු පොත් කිහිපයක්.

9.දයාබර ඩාලිය - නෝමා කූරීගේ Forbidden Love කෘතියේ සිංහල පරිවර්තනය. ආදරය කිරීම වරදක් වුනු ලෝකයක ඇයට උරුම වුයේ මරණයයි..ඉතා සංවේදී කතා පුවතක් ඇතුලත් පොතක්.

10. මයාඩා- මේක ගැනත් මම කලින් ලොකු විස්තරයක් ලිව්වානේ..මෙතනින් බලන්නකො ඒක..

11. දෙවියන්ගේ අඩවිය- Betty Mahmoody ගේ Not without my daughter කියන කෘතියේ පරිවර්තනය. ඇමරිකාවේ ජීවත් වූ ඇය ආදරය නිසා සිරගත වෙනවා. ඇගේ දියණියත් සමඟ ඉරානයේ සිට යලි ඇමරිකාවට පලා යන ගමන මේ කතාවෙන් කියවෙනවා.
සිංහල පරිවර්තන වල පින්තූර නම් හොයාගන්න ටිකක් විතර අපහසු වුනා ඒ නිසා තමා ඉංග්‍රිසි පොත් වල පින්තූර දැම්මේ

ලිපිය දිග වුනා වගේ.. තව ලිස්ට් එකක්ම තියෙනවා දාන්න.. ඉන්දියානු හා බෙන්ගලි පරිවර්තන, ඉංග්‍රිසි පොත්, සිංහල පොත්..තව ගොඩායි..ඒ ටික අනිත් ලිපියේ දාන්නම්.. ඔයලා සමහර විට මේවා ඔක්කෝම වගේ කියවලා ඇති.. තව පොතුත් කියවලා ඇති..ඒවාත් කොමෙන්ටු වල දාන්න.. එතකොට මටත් මගේ මේ සැරේ ලිස්ට් එක හදාගන්න ලේසිනේ.. ගිහින් එන්නම් ඈ.. හිහි... ජය වේවා


Post Comment